Thursday, May 2, 2013

අර කලාකරුවො රැළ දැක්කම ලජ්ජාවෙ බෑ - නිරිඇල්ල



පරාක‍්‍රම නිරිඇල්ල: වේදිකාව, සිනමාව සහ රූපවානිය යන තුන් ඉසව්වේ ම නිපුණ කලාකරුවෙකි. නාට්‍යය කලාව හුදී ජනයා අබිමුඛ කරනු වස් ඔහු විසින් දියත් කරන ලද ‘‘ජනකරළිය’’ නම් වූ නාට්‍යය කණ්ඩායම මේ වන විට දිවයිනේ විවිධ ප‍්‍රදේශයන්හි සංදර්ශන පවත්වමින් සිටිති. මේ වන විට ජනකරළිය කරළියට පැමිණ වසර දහයකි. එය මෙරට නාට්‍යය ක්ෂේත‍්‍රය අත්පත් කොට ගත් විශිෂ්ට ජයග‍්‍රහණයකි.
‘‘ජනකරළිය’’ කණ්ඩායමේ ආරම්භය, විකාශනය, වත්මන් තත්ත්වය සහ ලාකේය කලාකරුවාගේ වත්මන් භූමිකාව කෙබදුද යන්න පිළිබඳ පරාක‍්‍රම නිරිඇල්ල කලාකරුවා සමඟ theindipendent.lk වෙබ් පුවත්පතකළ පිළිසඳර මෙලෙසින් පාඨකයින් හමුවේ තබමු.
මොනවද මේ දවස්වල කෙරන කටයුතු?
මුලතිව් දිස්ත‍්‍රික්කය ආවරණය වන පරිදි මෙරිටයින්පත්තු, තූමුක්කායි සහ මාන්ති ඊස්ට් යන ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාස තුනේ ජනකරළිය කණ්ඩායම සමඟ වැඩකටයුතු කරමින් සිටිනවා. මෙහි දී වැඩි අවධානයක් යොමු කරල තිබෙන්නෙ සංවාද මණ්ඩප නාට්‍යය වෙත. ‘චරන්දාස්’, ‘තඹර පර අන්දර’, ‘‘කාන්තාව’’ වැනි නාට්‍යය තමයි ප‍්‍රදර්ශනය කරමින් පවතින්නෙ. මෙම නාට්‍යය ප‍්‍රදර්ශන ආරම්භ කළේ මාර්තු මාසෙ. මැයි මාසෙ 14 වෙනිදා දක්වා එම නාට්‍යය ප‍්‍රදර්ශනය පැවැත්වෙනවා.
ඔබේ කලා කටයුතු ඔය ආකාරයෙන් කරගෙන යද්දි වර්තමානයේ ලංකාවේ කලාව සහ කලාකරුවන් පිලිබඳ ඔබ දරන අදහස මොන වගේද?

මට පෙනෙන සහ දැනෙන විදියට නම් වර්තමානයේ පවතින්නෙ කලාවට සහයෝගය දෙන මුවාවෙන් වෙන දෙයක් කරන ආකාරයක්. කලාකරුවන් කලාවේ නිරතවීමේ දී සහ කලාව සිදුවෙද්දි එහි ප‍්‍රවර්ධනයක් තිබිය යුතුයිනෙ. ඒ වගේම ඒ ප‍්‍රවර්ධනය ඇතිවන කේන්‍ද්‍රස්ථානත් තිබෙනවා. දැන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ බැලූවොත්: නැටුම්, සංගීතය, චිත‍්‍ර කලාව සහ නාට්‍යය සහ රංග කලාව ආදී දේවල් තිබෙනවා. නමුත් ඒ කලාව විභාගවලට පමණක් සීමා වුන කලාවක්. විභාගය සමත්වෙලා සහතිකයක් ලබාගැනීම සඳහා පමණයි මෙම සෞන්දර්යය විෂයයන් ඉගැන්වෙන්නෙ. පාසල් විභාග ම්ට්මෙන් අනතුරුව විශ්වවිද්‍යාල මට්ටමෙනුත් කලාව උගන්වනවා. ඒ සම්බන්ධයෙන් උපාධි ලබාගත් පිරිසකුත් සිටිනවා.
නමුත් මෙය සමාජගත වන විට භාවිතයක් නෑ. එහි දී වඩාත් පැහැදිලි වෙනවා මෙය ක‍්‍රියාත්මක වෙන්නෙ ඉගෙනීම් ක‍්‍රියාවලිය තුළදි පමණක් බව. මේ ඉගෙනීම් ක‍්‍රියාවලිය තුළින් බිහි වුන රසික පිරිසකුත් නෑ. උදාහරණයක් ගමු. පාසල්වල චිත‍්‍ර කලාව උගන්වනවා. නමුත් එය ප‍්‍රමාණවත් නැහැ. චිත‍්‍ර කලාවේ ප‍්‍රවර්ධනයට අධ්‍යාපනයෙන් පරිබාහිර ක‍්‍රියාවලියක් තිබිය යුතුයි. පරිබාහිර ක‍්‍රියාවලියක් යනුවෙන් මම අදහස් කළේ ඒ චිත‍්‍ර නරඹන පිරිසක් සිටිය යුතුයි. ජිවිතයට සෞන්දර්යය අවශය යැයි හැඟෙන සමාජයක් බිහි විය යුතුයි. නමුත් එවැනි සමාජයක් බිහිවෙලා නෑ. ඒ නිසා හැම මොහොතක ම සෞන්දර්යය කලාව: හුදෙකලා වුන, ප‍්‍රවර්ධනය නොවුන, සමාජ ගතනොවුන කලාවන් සමූහයක් බවට පත්වෙලා.
චිත‍්‍ර පිළිබඳ හොඳ ම උදාහරණය කලා භවනෙ තිබෙන චිත‍්‍ර. එහි ප‍්‍රදර්ශනයට තිබෙන්නෙ කාලයක් තිස්සෙ මිනිස්සු නරඹපු පරණ චිත‍්‍ර කිහිපයක්. නමුත් අපිට නව චිත‍්‍ර ශිල්පීන් ඉන්නවා. අද්‍යතන චිත‍්‍ර කලාවක් තිබෙනවා. නමුත් එවැනි ශිල්පින් හෝ නිර්මාණ තක්සේරුවක් කලා භවන ආශ‍්‍රිතව සිදු වෙන්නනෙ නැහැ. දැන් කෙනෙකුට අහන්න පුළුවන් ‘ඇයි අර විහාරමහා දේවී පාර්ක් එකේ වැටේ එල්ලල තියෙන්නෙ චිත‍්‍ර නෙවෙයිද?’ කියල. ඒ නිර්මාණ චිත‍්‍ර කලාව විදියට සලකන්න මම කැමති නෑ. ඒ මාර්කට් කරන්න පුළුවන් වෙළෙඳ භාණ්ඩ ටිකක් පමණයි. නාට්‍යය කලාව ගත්තත් ඔය විදියමයි. නර්තන කලාව ගත්තත් එහෙමයි. නර්තන කලාව නිර්මාණය වෙන්නෙ අපේ සම්ප‍්‍රදායත් සමඟ. ඒ සම්ප‍්‍රදායික නැටුම් කලාව වර්තමානයේ ආයතන ගතවෙලා. ඒ කලාවත් කරළියට එන්නෙ විෂයයක් විදියට. ඊළඟට එය භාවිතා කරන්නෙ මොනවටද? දේශපාලන වේදිකාව සරසන්න. එසේත් නැත්නම් සංචාරකයො ඉදිරියෙ ඊනියා නර්තනයක් දක්වල මුදල් හම්බ කරගන්න. කොතනක හරි දහ අට සන්නිය නැටුවට ඒක අපේ ජීවිතයට අවශ්‍යයි කියල හිතල එය නරඹන්න යන පිරිසක් අද සමාජයේ නැහැ. එහෙම යනව නම් ඒ යන්නෙත් ප‍්‍රශ්න පත්තරේට උත්තර ලියන්න පුළුවන්ද කියල බලන්න පමණයි. කොළඹ ආශ‍්‍රිතවත් දහඅට සන්නිය ර`ග දක්වනවා. නමුත් ඒ අවස්ථාවල වුනත් දකින්න ලැබෙන්නෙ විෂයයක් විදියට මෙය ඉගෙනගන්නා පිරිස පමණයි. නමුත් දෙමාපියන්, වැඩිහිටියන් හිතල තමන්ගෙ දූදරුවන් ඒ සඳහා යොමු කරන තත්ත්වයක් නෑ.
සංගීතය දෙස අවධානය යොමු කළත් තත්ත්වය ඔය වගේමයි. අපේ රටේ ශ‍්‍රාස්ත‍්‍රීය සංගීත කලාවක් තිබුණා. නමුත් ගිරාගම ගුරුවිද්‍යාලයෙ ඉන්න ගුරුවරුත් රාග දන්නෙ නෑ. ගුරු ශිෂ්‍යයින්ටත් රාගයක් ගායනා කරන්න කිව්වම ඒ අයටත් ඒක බෑ. අපි හිතමු ඉන්දියාවෙන් හොඳ සංගීතඥයෙක් ගෙනල්ල රාගයක් ගායනා කෙරෙව්ව කියල. මට හොඳට ම විශ්වාසයි ඒ ශිෂයයො පමණක් නොවෙයි ගුරුවරුත් හිනාවේවි. ගුවන්විදුලි නාලිකාවක රාගධාරී සංගීත කණ්ඩයක් වාදනය වුනොත් කියාවි ‘ආ අද කාගෙහරි මළගමක් ඇති‘ කියල. ඒකට හේතුව මොකක්ද? අපේ රටේ කාලයක් තිබුණ රාගධාරී සංගීතය වාදනය කළේ සමාජයේ පිළිගත් පුද්ගලයෙක් මරණයට පත්වුණාම පමණයි. දැන් ඒකත් විෂයට සීමා වෙලා. අමරදේව මාස්ටර්ල, වික්ටර් රත්නායක මහත්මයල ගොඩනගපු ප‍්‍රසංග කලාවට අද මොකද වෙලා තියෙන්නෙ? අද ඉන් එහාට ගිය සංගීත කලාවක් බිහිවෙලා තියනවද? අද තියෙන්නෙ රසවිඳිය නොහැකි සංගීත කලාවක්. මේ තත්ත්වය සුළුවෙන් හිතන්න බෑ. මෙය මුළු මහත් සමාජය ම කඩාවැටීම පෙන්නුම් කිරීමේ ලක්‍ෂණයක්. සාහිත්‍යය කලාව සහ සෞන්දර්යය ජිවිතයට සම්බන්ධ නො කරගන්නා සමාජය කර්කෂ වියළි සමාජයක්. එය භෞතිකවත් වියළියි. ආධ්‍යාත්මිකවත් ඉතාම වියළියි. වර්තමානයේ පවතින්නෙ දමනය නො වූ, නොහික්මුණ මිනිසුන් ජිවත්වන සමාජයක්. දිනපතා හෝ සතිපතා පුවත්පත් අරගෙන කියෙව්වම තේරෙනව මිනිස්සු මොනතරම් ම්ලේච්ඡත්වයට පත්වෙලාද කියල. මේක විශාල ඛේදවාචකයක්.
අපි බලමු නාට්‍යය හා රංගකලාව පැත්ත. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උගන්වනවාත කැලණිය විශ්වවිද්‍යාලයේ උගන්වනවාත ශ‍්‍රීපාලි මණ්ඩපයේ උගන්වනවාත පේරාදෙණියෙ උගන්වනවා. දෙමළ විශ්වවිද්‍යාල ගත්තත් ඒ වගේ. මඩකලපුව විශ්වවිද්‍යාලයේ ස්වාමි විපුලනාදන් සෞන්දර්ය අධ්‍යාපන ආයතනය, යාපනය විශ්වවිද්‍යාලයේ නාට්‍යය හා රංගකලාව උගන්වනවා. මේ සියල්ලට ම අමතර ව විද්‍යාපීඨවලත් නාට්‍යය හා රංගකලාව උගන්වනවා. නාට්‍යය හා රංගකලාව පිළිබඳ ගුරුවරුත් විශාල ප‍්‍රමාණයක් ඉන්නවා. පාසල්වල හය වසරේ සිට නාට්‍යය හා රංගකලාව උගන්වනවා. මේ සියල්ල අතරෙ නාට්‍යය හා රංගකලාව කොතනද ස්ථානගතවෙලා තිබෙන්නෙ? අවම වශයෙන් මසකට වරක් හෝ නාට්‍යයක් බලල එහි රස විඳින්න පුළුවන් පිරිසක් හැදිල නෑනෙ. නමුත් පිට රටවල්වල මෙවැනි තත්ත්වයක් නැහැ. ජපානයේ සාම්ප‍්‍රදායික නාට්‍යය කලාව වන ‘කබුකි’, ‘නෝ’ වගේ නාට්‍යය බලන්න වුනත් විශාල පිරිසක් ඉන්නවා. එන්ගලන්තයේ ගත්තත් එහෙමයි.National theatre එකේ කවදා කුමන අන්දමේ නාට්‍යයක් ප‍්‍රදර්ශනය කළත් අවම වශයෙන් නාට්‍යයේ පිරිවැය පියවාගන්නවත් පුළුවන්. දකුණු ඉන්දියාවෙ සහ උතුරු ඉන්දියාවෙ නාට්‍යය නරඹන්න එන පිරිසත් ඉතා විශාලයි. ඒ රටවල පවතින්නෙ සියලූ කලාවන් පවත්වාගෙන යන රටාවක්. ඒ ආකාරයෙන් කලාව පවත්වාගෙන යාමේ සමාජයක් අපේ රටේ අධ්‍යාපන ක‍්‍රමය විසින් ඇතිකරල නෑ.
ඊළඟට අපේ රටේ ජනතාවගේ ආර්ථිකයේ අතිරික්තයක් නැතිකමත් මේකට බලපානවා. අපි හිතමු රුපියල් 200 ක ප‍්‍රවේශ පත‍්‍රයක් ගත්ත කියල. එයාට පිටිපස්සෙ හෝ බැල්කනියෙ ඉඳල තමයි නාට්‍යය නරඹන්න වෙන්නෙ. ඉස්සරහ ඉඳල බලන්න නම් රුපියක් 1000 ක ප‍්‍රවේශ පත‍්‍රයක් ගන්න වෙනවා. එවැනි තත්ත්වයක් තුළ හතරදෙනෙක් ඉන්න පවුලකට මාස කීයකට වතාවක් නාට්‍යයක් බලන්න පුළුවන්ද? නාට්‍යයක් නැරඹීමේ අවශ්‍යතාව දැනෙන සහ ඒ සඳහා අවශ්‍ය පිරිවැයක් දරන්න පුළුවන් සමාජයක් අපිට නැහැ.
ඔබගේ ප‍්‍රකාශය හරහා ගම්‍ය වෙනවා කලාව විඳින පිරිසක් නැති බව. එවැනි වාතාවරණයක් පවතින්නේ ඇයි සහ ඒ සඳහා කළ යුත්තේ කුමක්ද?
මම මේ රට වටේම සංචාරය කරන පුද්ගලයෙක්. ලංකාවේ විවිධ පළාත්වල ‘ජනකරළිය’ කණ්ඩායම සමග යනවා. සම්මන්ත‍්‍රණ සහ වැඩමුළු පවත්වනවා. පාසලකට ගිහින් ඇහුවොත් නාට්‍යය බලල තියනවද කියල මොනවද ඒ අය බලල තියෙන්නෙ? මනමේ සහ සිංහබාහු පමණයි. මේ දෙක ම විෂයයට උගන්වන නාට්‍යය. නාට්‍යය හා රංගකලාව පිළිබඳ ප‍්‍රශ්නයක් ඇහුවොත් ගිරව් වගේ උත්තර දෙන ගුරු ශිෂ්‍ය පිරිසක් ඉන්නවා. මොකද ගුරුවරුත් නාට්‍යය නරඹන්නෙ නෑ. නාට්‍යය හා රංගකලාව අධ්‍යාපනය සඳහා අත්‍යවශය අංගයක් ලෙස ලෝකයේ පිළිගැනීමක් පවතිනවා.
එහි පර්මාර්ථය වෙන්නේ දරුවන්ගේ කුසලතා සහ නිපුණතා සංවර්ධනය කිරීම. ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීමේ විශ්වවිද්‍යාල වෙනම පිහිටුවා තිබෙනවා. එය හඳුන්වන්නෙ Theatre in eduation intstitute (T. I. E. I) නමින්. ඒ අය පාසල්වල උගන්වන්නෙ නාට්‍යය විෂයය නොවෙයි. නාට්‍යය කලාවේ අභ්‍යාසයන් හදාරමින් පසුබෑමට ලක් වූ දරුවන් අධ්‍යාපනයට යොමු කිරිම. දරුවන්ගේ කුසලතා වර්ධනය කරමින් කලාව සඳහා ඒ දරුවන් ඉදිරිපත්වීමට උනන්දුවක් ඇතිකිරීම. සංකල්පීය හැකියාවන් දියුණු කිරීම. එවැනි භාවිතයක් ඒ රටවල්වල තිබෙනවා. නමුත් අපේ රටේ කෙරෙන්නෙ විෂයය උගන්වන එක. හය වසරේ සිට ම කරන්නෙ විෂයයක් උගන්වන එක. දරුවන්ගේ චින්තනය වෙනස් කිරිමට සහ කුසලතා වර්ධනය වීමට අපේ අධ්‍යාපන ක‍්‍රමය සමත් නෑ. අපේ බලධාරින් පොට වරද්දාගෙන. ඊළගට නාට්‍යය නැරඹීම සඳහා දරුවන් පෙළඹවීමේ ක‍්‍රමවේදයක් නෑ. අපිට පාසල්වලට ගිහින් නාට්‍යයක් ප‍්‍රදර්ශනය කරල ඒ දරුවො එක්ක කතා කරන්න අවසර ගන්න එක ඒ පළාත් අධ්‍යාපන ලේකම්තුමාගෙන් කරගන්න පුළුවන්ත කලාප අධ්‍යක්‍ෂකගෙන් අවසර ගන්න පුළුවන්ත නමුත් පාසලේ මුල් ගුරුවරයාගෙන් (Principal) බැහැ. මොකද පාසල් පවත්වාගෙන යන සාම්ප‍්‍රදායික ක‍්‍රමයක් තිබෙනවා. ඒ ක‍්‍රමයට පටහැනි යමක් කරන්න සූදානම් නැහැ.
මම දෙවන ශ්‍රේණියේ ඉගෙනගනිද්දි අපට සිංහල ඉගැන්නුව ගුරුවරයා: විමලරත්න කුමාරගම මහත්මයාගෙ, පී. බී. අල්විස් පෙරේර මහත්මයගෙ, සහ මුනිදාස කුමාරතුංග මහත්මයගෙ කවි කියල ඒව විස්තර කරපු විදිය මට තවමත් මතකයි. අපි උසස් පෙළ කරද්දි ගුත්තිලය කට පාඩම්. උම්ග්ග ජාතකය කටපාඩම්. සැලළිහිණි සන්දේශයේ කවි කටපාඩම්. ගුරුවරයා සැලළිහිණි සන්දේශය රසවත්ව තේරුම් සහිතව ඉගැන්නුවම අපිට අනෙක් සන්දේශ කාව්‍යයත් කියවන්න හිතෙනවා. ඒ රසාස්වාදයට අපි වශී වෙනවා. අපිට උගන්වන්න එවන් පරිනත පිරිසක් හිටියා.
මම මේ කතාකරන්නෙ අතීතකාමයෙන් නොවෙයි. නාට්‍යය කලාවේ ස්වර්ණමය යුගය විදියට හැඳින්වුවෙත් මේ හැටේ දශකයේ. නමුත් 77 පසුව මේ සියල්ල කණපිට හැරුණා. ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද කියල කියපු නායකයො බලයට පත්වුණෙත් මේ කාලෙනෙ. විශ්වවිද්‍යාල මට්ටමෙන් පවා මේ විෂයය හැදෑරීමේ උනන්දුව ගිලිහෙනවා. වෙනත් වෙනත් විෂයයන් කෙරෙහි ශිෂ්‍ය පරපුර යොමු වෙනවා. වර්තමානයේ දක්‍ෂතම ශිෂ්‍ය පිරිස තෝරගන්නෙ විද්‍යාව සහ වාණිජ විෂයයන්. ඉතිරි පිරිස තමයි සෞන්දර්යය කලාව සඳහා යොමු වෙන්නෙ. ඒ අතරින් වුනත් කලාවට ලැදි පිරිස ඉන්නෙ අතළොස්සයි. දක්‍ෂයො එනව අඩුයි. මොකද දක්‍ෂ සිසුන් බිහිවෙන්න දක්‍ෂ ගුරුවරු පිරිසක් සිටිය යුතුයි. අද ඉන්න ගුරුවරුන්ට තමන්ගෙ ශිෂ්‍යයො එකතුකරගෙන නාට්‍යයක් කරන්න තරම්වත් දැණුමක් නෑ. එහෙම කිහිප දෙනෙක් හිටියත් ඒ අයට අදාළ පහසුකම් සපයන වැඩ පිළිවෙළක් නෑ. දක්‍ෂ ගුරුවරු හිටියත් ඒ අය කළමනාකරණයකින් යුක්තව පාසල්වලට යොමු කරන්නෙ නෑ. මේ මැතක ගුරුවරු හැටගණනක් බඳව ගත්තා. නාට්‍යය අනුමණ්ඩලයෙන් මොකද කළේ? බන්‍දුල ගුණවර්ධන ඇමතිතුමාට කියල නාට්‍යය කරපු අය හැමෝ ම කොළඹ අවට පාසල්වලට අනුයුක්ත කළා. මොකද වුණේ? ඒ අයගෙන් එක්කෙනෙක්වත් නාට්‍යය කළේ නැ. අවම වශයෙන් නාට්‍යයක රඟපෑවෙවත් නෑ.
සංස්කෘතික අමාත්‍යංශයක් කියල එකක් තියනවා. මේ අමාත්‍යංශයට කොපමණ වැඩ කොටසක් තිබෙනවද කරන්න. නමුත් මොකද වෙලා තියෙන්නෙ? ජාතික අයවැයෙන් වසරක් පාසා සංස්කෘතික අමාත්‍යංශයට වෙන් කරන්නෙ සියයට දශම පහකටත් වඩා අඩු මුදලක්. මේ සොච්චම අරගෙන මොනවද කරන්න පුළුවන්. ඉන්දියාවෙ සංස්කෘතික අමාත්‍යංශය කියන්නෙ ප‍්‍රධාන අමාත්‍යංශ හතරෙන් එකක්. ඒ රටේ පාලකයින් වටහාගෙන තියනව සංස්කෘතිය රටේ යහපැවැත්මට කෙතරම් වැදගත්කමක් දක්වනවද කියල. ඒ නිසා ඔවුන් කැපී පෙනෙන වැඩ කොටසක් කරන නාට්‍යය හැම නාට්‍යය කණ්ඩායමකට ම හැම මොහොතක ම ආධාර කරනවා.
නමුත් අපේ රටේ එවැනි වැඩ පිළිවෙළක් නෑ. වසරකට වරක් නාට්‍යය, සංගීත, ටෙලිනාට්‍යය සහ සාහිත්‍යය උත්සවයක් පැවැත්වුවා කියල ප‍්‍රශ්නය විසෙඳෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ කලාකරුවන් අතර මතබේද ඇතිවෙලා ඉන්න පිරිසත් දෙපිලකට තුන්පිලකට බෙදෙන එක විතරයි. අඩුම වශයෙන් සම්මාන ලැබුණ නිර්මාණය රට පුරා ප‍්‍රදර්ශනය කරන්න පුළුවන් වැඩ පිළිවෙළක් තිබෙනවද? නෑ. නාට්‍යයකරුවන්ගෙත් එවැනි සූදානමක් දකින්න නෑ. මේ කඩාවැටීමට කලාකරුවනුත් වගකිව යුතුයි. වෙනත් රටවල්වල කලාකරුවන්ගේ වෘත්තීය සංවිධාන තිබෙනවා. ඒ අය තමන්ට ගැටලූවක් තියනවනම් බලපැම් කණ්ඩායම් විදියට වීදි බහිනවා.
ඉන්දියාවෙ සමස්ථ කලා ක්ෂේත‍්‍රයේ ම: නාට්‍යය, සාහිත්‍යය, සිනමාව, සංගීතය, චිත‍්‍ර කලාව, ටෙලිනාට්‍යය ආදී සෑම ක්ෂේයකම පවතින සංවිධාන හරි ප‍්‍රබලයි. ඒ මිනිස්සු තමන්ගෙ වාසිය වෙනුවෙන් ආණ්ඩුවට කඬේ යන්නෙ නෑ. ඒ මිනිස්සු ආණ්ඩුවට පක්‍ෂපාති වෙන්නෙ ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් පමණයි. තමිල්නාඩුවෙ දෙමළ කලාකරුවො පාරට බැස්සෙ තමන්ගෙ ජාතියේ ජනතාවට ලංකාව තුළ යම් අසාධාරණයක් වෙනවා ය කියන අදහස මත. නමුත් අපේ අය එකතුවෙන්නෙ මොකටද? කඬේ යන්න. ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන අපේ කලාකරුවන්ගෙ කොන්දේසි මොනවද? ජනාධිපති අපේක්‍ෂකයා කලාකරවො එකතුකරල සාකච්ඡාවක් පවත්වනව කියමුකො. අපේ කලාකරුවො ඒ අපේක්‍ෂකයාට දාන කොන්දේසි මොනවද? ඔයා බලයට ආවම මෙන්න මේ වැඩ කොටස කරනවද? කලාවේ දැනට තියන අර්බුද මෙන්න මේව. මේව ඉටුකරනවනම් පමණයි අපි ඔයාට උදව් කරන්නෙ. එහෙම පූර්ව නිගමනයකට එන්න ඕන. නමුත් අපේ කලාකරුවන්ට එහෙම පිටකොන්දක් නෑ. අපේ කලාකාරයො මැතිවරණ සමයෙදි වේදිකාවෙ කතාකරන්න යනවා. ඒ අය එහෙම යන්න පෙර කියනවද අපිට මෙන්න මේ මේ අඩුපාඩු තියනවා. ඒව සම්පූර්ණ කරල දෙන්න කියල. එහෙම කියන්න තරම් මේ කලාකරුවන්ගෙ කොන්ද පණ නෑ.
අපි මේ උත්සාහය දැරුවා. අපේ උත්සාහය අනුව හත්අට සියයක් ඉදිරිපත් වුණා. නමුත් ඒ අතරින් තිහ හතළිහක් ඇරුනම අනෙක් අය ඔක්කොම බලාපොරොත්තු වුනේ තම තමන්ගෙ පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න පමණයි. ඒ බහුතරයක් දෙනා වීදි බහින්න කැමති වුණේ නෑ. අවසානයේ මැතිවරණය සමය වන විට ඒ බහුතරයක් දෙනා දේශපාලන වේදිකාවට නැග්ගෙ කොන්දේසි විරහිතව. මම තනි වුණා. 2003 වසරෙ නාට්‍යය උත්සවයක් කළා ජෝන් ද සිල්වා රඟහලේ. නාට්‍යය උත්සවය ඉවරවෙලා කොඩි ටික ගලවගන්න කෙනෙක් නෑ. මම කොඩි ටික ගලවනකම් ඈතට වෙලා බලාගෙන ඉන්නව. මමත් පසුව ඒ සියලූ කටයුතු අත්හැර දැම්මා. ඉන් අනතුරුවයි ජනකරළිය බිහි වෙන්නෙ. ජනකරළිය කණ්ඩායම සමඟ මම ගම්මට්ටමින් ප‍්‍රසංග පැවැත්වුවා. ඊට පස්සෙ මොකද වුණේ. ‘මේක N.G.O. එකක්‘ ආදි වශයෙන් නොයෙක් අන්දමේ මඩ ගහන්න පටන් ගත්තා. පුදුම වැඬේ කියන්නෙ රටේ කලාව පරිහානියට පත්වන විට නිහඬව ඉන්න මාධ්‍යය පවා මේ වෙලාවෙ ජනකරළිය හෑල්ලූවට පත්කළා. නමුත් අද වන විට පැහැදිලි වෙලා තියනවා වසර දහයක් නොකඩවා වැඩකරගෙන ගිය එකම කණ්ඩායම ජනකරළිය පමණයි කියල. ඒ නිසා දැන් ඒ පිළිබඳ කිසිදු විවේචනයක් හෝ ඇගයීමක් නෑ. මේ දැන් පාරට බැහැල සත්‍යග‍්‍රහණය කරන කලාකාරයො ඇයි හිතන්නෙ නැත්තෙ අපිට මීට වැඩිය වැඩ කරන්න තියන බව. කලාව වෙනුවෙන් මීට වැඩිය යමක් කළ යුතුයි කියල පාරට බහින්න බැරිද? මේ කරන්නෙ බඩගෝස්තරවාදය ව්‍යාප්ත කිරීමක්. අර විදියට ඇස් දෙක පියාගෙන හිටපු ප‍්‍රවිණ සහ නවීන රැළ දැක්කම ලජ්ජාවෙ බෑ.
මේ මොනව කතාකෙරුවත් ලංකාවෙ කලා මණ්ඩලයක් තියනවා. නාට්‍යය, සංගීතය, සාහිත්‍යය, චිත‍්‍රපට ආදි හැම අංශයකට ම අනුමණ්ඩලත් තිබෙනවා. මේ හරහා වැඩක් කෙරෙන්නෙ නැද්ද?
ඇත්තට ම මේව පිහිටුවල තිබුණට ඒවයෙ ගතයුත්තක් නෑ. කිසිම වැඩක් කරන්නත් බෑ. අපි මොනතරම් හොඳ, වටිනා යෝජනා ඉදිරිපත් කළත් ඔය කියන ඕනම අනුමණ්ඩලයක් වැඩට බැස්සම මොන කෙහෙල්මලක්වත් කරන්න බෑ. පළවෙනි කාරණය මුදල් නෑ. මොකද මොනතරම් හොඳ යෝජනා ඉදිරිපත් කළත් ඒවට අය-වැයෙන් මුදල් වෙන්කරන්නෙ නෑ. වෙන් වෙන මුදලින් වැඩි ප‍්‍රමාණයක් වියදම් කරන්නෙ ඇමතිගෙ වැඩවලට. ඊළගට නියෝජ්‍ය ඇමතිගෙ වැඩවලට. ඊට පස්සෙ මළගෙවල්වලට. මේ ටික ඔක්කොම වෙන්නෙ අමාත්‍යංශය ඇතුළෙ. මේ ප‍්‍රමාණය ඔක්කොම පෙරිල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට එන මුදල් ප‍්‍රමාණය වැටුප් ගෙවාගන්නත් මදි. ඊළගට අනුමණ්ඩල ටික ඔක්කොම තියෙන්නෙ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතෙ. අවම වශයෙන් එක අනුමණ්ඩලයකට වසරකට ලක්‍ෂ තුනක්වත් ලැබෙන්නෙ නෑ. මේ තත්ත්වය තවමත් එහෙමමයි.
නමුත් කලාකාරයො හිතන්නෙ මේ තනතුරුවල ඉන්න මිනිස්සුන්ට මහා ලොකු මුදලක් හම්බවෙනව කියල. ශත පහක් හෝ ලැබෙන්නෙ නෑ. එක රැස්වීම් වාරයකට ඒ කාලෙ ගෙව්වෙ රුපියල් 500 යි. ඒක පැට්‍රෝල් ටික ගහගන්නත් මදි. නමුත් ඉහළින් ඉන්න අය: ඇමති, ලේකම්, සංස්කෘතික අධ්‍යක්‍ෂ, කලා මණ්ඩලයේ සභාපති මේ අය හැම වෙලාවෙම ඇඟ බේරගන්නවා. හැම කුණු ගොඩක් ම බෙංගාල බොක්කට වගේ අන්තිමේ දි හැම නරක නාමයක් ම එන්නෙ අනුමණ්ඩල සාමාජික සාමාජකාවන්ට. අනුමණ්ඩල සාමාජිකයා/සාමාජිකාව කරල තියෙන්නෙ වත්ත බද්දට දීල ඇස්සට දත නියෙව්ව වගේ වැඩක්. මේ තත්ත්වය වෙනස් වෙන්නන නම්, යම් මුදල් සංචිතයක් වෙන් කරල කලාමණ්ඩලය ස්වාධීන මණ්ඩලයක් බවට පත්කරන්න ඕන.
මට මතකයි පනස් ගණන්වල සංස්ථාවක් බවට පත්කරල තිබුණ බව. කලා මණ්ඩලයේ සභාපතිගෙ ඉඳල සියලූ අනුමණුමණ්ඩල සාමාජික/සාමාජිකාවන් නිකන් ම නිකන් රූකඩ ටිකක් පමණයි. හැබැයි අද ඒ අයට කරන්න වැඩ තියනව. මොනවද? නෙළුම් පොකුණෙ මොනවහරි තියනවනම් ඒකට සහභාගි වෙන්න. අනුමණ්ඩලවල සභාපතිගෙ පවුලෙ සියල්ලන්ට ම ගිහින් ඒවායෙ රඟපාන්න පුළුවන්. නර්තන අනුමණ්ඩලයේ අයට නෙළුම් පොකුණෙ පුහුණුවීම් කරන්න පුළුවන්.
හොඳයි... මේ වන විට කලාව, කලාකරුවා සහ රසිකයා අතර පවතින සහසම්බන්ධය මොනවගේද?
එහි කිසිම ස්ථාවරත්වයක් නෑ. ගීත කලාව පැත්තෙන් ගත්තොත්: එඩිවඞ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස් එකතුව පවත්වන ප‍්‍රසංගය නරඹන පිරිසක් ඉන්නවා. ඒක ඇත්ත. නමුත් එළිමහන් වේදිකාවෙ පැවැත්වෙන ප‍්‍රසංගවලට ඉන්න පිරිස වැඩියි. මේ දෙක ම අතරමැද පිරිසකුත් ඉන්නවා. මේ පිරිස අතර හොඳ නිර්මාණකරුවන් ඉන්නව වගේ ම හොඳ නිර්මාණත් තිබෙනවා. නමුත් මේ කිසිවක් මතු නොවන ප‍්‍රවනතාවක් තිබෙනවා. දැන් අර කලින් සඳන් කළ නිර්මාණකරවන්ගෙ වුනත් නව නිර්මාණ බිහි වෙනව අඩුයිනෙ. අන්න ඒකයි මම කිව්වෙ ස්ථාවර නෑ කියල.
අපි බලමු නාට්‍යය කලාව පිළිබඳ ව. මේ විෂයය පිළිබඳ ධනංජය කරණාරත්න හොඳ ලිපියක් ලියල තිබුණා. ඒක සම්පූර්ණයෙන් ම නාට්‍යය කලාවේ යථාරථය පිළිබිඹු කරල තිබුණා. නමුත් මට විශ්වාසයක් තිබෙනවා මෙය වර්ධනය කරන්න පුළුවන් බව. ඒ පිළිබඳ ව මට හොඳට අත් දකීම් තිබෙන්නෙ ජනකරළිය සමඟ රට වටේ යන නිසා. පළමු සහ දෙවන දවසෙ පැමිණෙන පේ‍්‍රක්‍ෂකයින්ගේ කටවචනය අනුව එන පේ‍්‍රක්‍ෂක පිරිස ඉතාමත් ඉහළයි. ඒ පිරිසට රසාස්වාදය අවශ්‍යයි. ඒ රසාස්වාදය විඳින්න එන්නෙ මෙගානාට්‍යය අත්හැර දාලා. වැඬේ තියෙන්නෙ ඒ මිනිස්සුන්ට දරන්න පුළුවන් ප‍්‍රමාණයක් තිබෙනවා. අපි ඒ ප‍්‍රමාණය තේරුම් ගත යුතුයි. අපි අය කළේ රුපියල් සියයක් වගේ සුළු මුදලක්. ඒ මිනිස්සු ඒ මුදල ගෙවල ඇවිල්ල අපසුවෙන් වුනත් නාට්‍යය නරඹන්නෙ සතුටින්. මේක ඒ මිනිස්සුන්ට අපූරු ආශ්වාදයක්. අපි එක වතාවක් ගාස්තුව රුපියල් 200 ක් කළා. 200 කළ ගමන් ම පිරිස අඩු වුණා. මේ ක‍්‍රමය මිනිසුන්ගේ අවශ්‍යතාවක් බවට පත්වෙන්න ඕන. මේක ආරම්භ කරන්න ඕන පාසල් මට්ටමින්. මම බන්‍දුල ගුණවර්ධන ඇමතිතුමාට යෝජනාවක් කළා ශිෂ්‍යත්ව විභාග ප‍්‍රශ්න පත‍්‍රයට නාට්‍යය කලාව පිළිබඳ ප‍්‍රශ්න පහක් ඇතුළත් කරන්න කියල. එහෙම වුණාම අනිවාර්යයෙන් ම ඒ දරුවො නාට්‍යය කලාව කෙරෙහි ආශක්ත වෙනවා. නමුත් තාම ඒ යෝජනාව තිබෙන්නෙත් ‘සලකා බලමු’ ෆයිල් එකේ.
අපි දැන් ජනකරළිය පිළිබඳ ටිකක් කතා කරමුද? මට හිතෙන්නෙ දැන් ජනකරළිය වැඩ පටන් අරන් වසර දහයක් වගේ කාලයක්.

ඔව්. 2003 පෙබරවාරි 16 වන දින මමයි එචි. ඒ . පෙරේරා කලාකරුවයි තමයි මෙහි වැඩ ආරම්භ කළේ. එහි ප‍්‍රගතිය ඉතාමත් ම සාර්ථකයි. කෙතරම් සාර්ථක ද කියනව නම් ගාල්ල ප‍්‍රදේශයේ දි මිනිස්සු අවිල්ල අපිට බැනවැදුනා ‘අද උඹල අපිට නාට්‍යය පෙන්වනවද නැද්ද’ කියල. මොකද නාට්‍යය සංදර්ශනයට අදාළ ප‍්‍රවේශපත් ඉවර වුනාට ප‍්‍රවේශපත් ගන්න බැරි වුන පිරිසක් එළියෙ හිටියා. ඔවුන්ගේ ඉල්ලීම තිබුණෙ අමතර දර්ශනයක් කරන්න කියලා. නමුත් අපේ කණ්ඩායම දර්ශන වාර හතරක් කරල හොඳට ම හෙම්බත්වෙලා හිටියෙ. ඒ නිසා තව දර්ශනයක් කිරීමේ අපහසුතාව දන්වලා නිවේදනයක් නිකුත් කරාම මිනිස්සු බනින්න පටන් ගත්තා. ඇත්තට ම අපි හදන්න ඕන එවැනි රසික පිරිසක් නොවෙයිද? නාට්‍යය පෙන්නන්නෙ නැද්ද කියල අහන පේ‍්‍රක්‍ෂකයො පිරිසක් හැදුව කියන්නෙ විශාල ජයග‍්‍රහණයක්නෙ. පාසල්වලත් විශාල උනන්දුවක් තිබෙනවා.
ජනකරළිය මෙතරම්ම පේ‍්‍රක්‍ෂකයින් අමන්දානන්දයට පත්කරන්න, ආශක්ත කරන්න බලපෑ හේතු සාධක මොනවාද?
ප‍්‍රධාන ම සාධකය මම හිතන්නෙ අඩු මිලට නාට්‍යයක් නැරඹීමට ලැබීම. සමහර නාට්‍යය නොමිලේ ප‍්‍රදර්ශනය කළත් එන්නෙ නැහැනෙ. එහෙනම් ගුණාත්මක බවත් බලපානවා. අනෙක් කාරණය තමයි අපේ මිනිස්සු තවමත් කැමතියි ජන රාශියට. ඒ කියන්නෙ එකතු වෙන්න. විපරම් සහගත බව. අලූත් පරපුරට අලූත් අත් දැකීමක් වීම. රංගන ශිල්පියා සහ පේ‍්‍රක්‍ෂකයාගේ සමීප බව.
නළු නිළියන්ගේ ජනප‍්‍රිය බව බලපෑවෙ නැද්ද?
කවදාවත් එවැනි තත්ත්යක් දක්නට ලැබුනෙ නෑ. අපේ නළු නිලියන්ට සහ කණ්ඩායමට ආහාර-පාන පවා ලැබෙන අවස්ථා තිබෙනවා. ගෙවල්වල අපේ ආහාර වේල සකසනවා. තවත් සමහර තැනක අපේ ස්ථානයට ම අරගෙන එනවා. අවසාන දවසට මිනිස්සු ඇවිත් අපි වෙන්ව යන දුකට අඩනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නෙ.
දෙමළ ජනයා පදිංචි ප‍්‍රදේශවල ප‍්‍රදර්ශනය කරන්නෙ දෙමළ නාට්‍යයනෙ. මේ සඳහා රංගනයෙන් දායකත්වය ලබා දෙන්නෙ දෙමළ නළු නිළියොද සිංහල අයමද?
මේ භාශා දෙකම කතාකරන අය කණ්ඩායමේ ඉන්නවා. දෙමළ භාශාව නොදැන සිටි සිංහළ අයට පවා භාවිතාව තුළ දෙමළ භාශාව කතාකිරීමේ හැකියාව ලැබිල තිබෙනවා. ජනකරළිය ආරම්භ කරන විට සමහර දෙමළ අයට සිංහල බෑ. සිංහල අයට දෙමළ බෑ. නමුත් අපේ රංග අභ්‍යාස තුළින් මේ කාණ්ඩ දෙකේම පිරිස ඒ අභියෝගය ජයගත්තා. සමහර සිංහල රංගන ශිල්පින් දෙමළ නාට්‍යයේ ප‍්‍රධාන චරිත පවා කළා. දැනටත් එහෙමයි. චරන්දාස් නාට්‍යයේ දෙමළ සහ සිංහල නාට්‍යය දෙකේම ප‍්‍රධාන චරිතය කරන්නෙ එකම රංගන ශිල්පියා.
චරන්දාස් නාට්‍යය මුද්‍රිත පිටපතක් ලෙස පාඨකයින් අතට පත්වුණා. එවැනි තවත් පිටපත් තිබෙනවාද?
නෑ. දැනට නැහැ. අපි බලාපොරොත්තු වෙනවා නාට්‍යය කිහිපයක් එක කෘතියක් විදියට එළිදක්වන්න. එහි නාට්‍යය 20 ක් පමණ අන්තර්ගත වෙනවා.
ජනකරළියට වසර දහයක් පිරිම නිමිත්තෙන් විශේෂ වැඩ පිළිවෙළක් සුදානම් කරල තිබෙනවාද?
ඇත්තට ම එහෙම වැඩපිළිවෙළක් සකස් කරන්න කාලයක් තිබුණෙ නැහැ. පසුගිය වසරෙ අපේ‍්‍රල්වල ඉඳල මේ වනතුරු දිගටම සංදර්ශන පවත්වමින් ඉන්නෙ. ගාල්ලෙන් ආරම්භ කළා. අනතුරුව: පුත්තලම, අම්පාර, බදුල්ල ආදි ප‍්‍රදේශවල දර්ශන පැවැත්වූවා.

නාට්‍යය කණ්ඩායමට ගෙවීමක් කරල දිගටම පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවාද?
සංදර්ශන ආදායමෙන් ඒ සියල්ල කරන්න බෑ. මේක ආරම්භ කළේ නෙදර්ලන්ත සංස්කෘතික අරමුදලෙන්. පසුව G. I. Z. එකේ ආධාරයෙන් පාසල් දර්ශන පැවැත්වීම ආරම්භ කළා. තියටර් එකට දායකත්වය සැපයුයේ U.N එක. ආලෝක උපකරණ පවා ද්‍රව්‍යමය ආධාර විදියට ලැබුණ දේවල්. ඒ තත්ත්වය නොවෙන්න මේක මේ විදියට දිගට ම පවත්වාගෙන යන්න ලැබෙන්නෙ නෑ. අපි මෙය නිසියාකාරයෙන් ම පවත්වාගෙන ආපු නිසා ඒ අය 2010 වනතුරු ආධාර කළා. 2010 පසුව ආධාර ලැබුණෙ නෑ. අපි මේ වන විට පවත්වාගෙන යන්නේ විවිධ ආයතනවල අනුග‍්‍රාහකයින්ගේ උදව් උපකාරයෙන්. ඉන්දියාව, ඇමරිකාව, එන්ගලන්තය ආදි රටවල කලාවට විවිධාකාරයේ ආධාර අනුග‍්‍රහය ලබා දෙනවා. ලංකාවේ තවම එවැන් තත්ත්වයක් නැහැ. ඒ නිසා අපිට සිද්ධවෙලා තිබෙනවා ආධාර දෙන කෙනෙකුගේ උදව් ලබාගෙන මේ කලාව පවත්වාගෙන යන්න.
ජනකරළියේ ප‍්‍රවර්ධනය පිළිබඳව තව දුරටත් සඳහන් කළොත්...?
ඔව්. ඇත්තට ම ඉතාමත් සතුටින් කියන්න ඕන අපි ඉතිරිකරගත් මුදල්වලින් අපිට මේ මධ්‍යස්ථානය පවත්වාගෙන යන්න පුළුවන් ආකාරයේ ඉඩමක් සහ ගෙයක් හෝමාගම ප‍්‍රදේශයෙන් මිල දි ගන්න පුළුවන් වෙලා තිබෙනවා. ඊට අමතර ව පරිත්‍යාගයක් විදියට අනුරාධපුර ශ‍්‍රාවස්තිපුරයෙන් නිවාස දෙකක් සමඟ ඉඩමක් ලැබී තිබෙනවා. එය ලැබුණේ අනුරාධපුර පවත්වපු නාට්‍යය දර්ශන දිනපතා ම නරඹන්න පැමිණි පේ‍්‍රක්‍ෂකයකුගෙන්. ඉන් එක් නිවාසයක් අලූත්වැඩියා කරල එම ස්ථානයේ කුඩා රංග ශාලාවක් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. හෝමාගම මධ්‍යස්ථානයේ ළමා හා යොවුන් රංග පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.
සංවාදය - ජයසිරි අලවත්ත


0 comments:

Post a Comment