Monday, May 13, 2013

රන්මිණිතැන්න ටෙලි නිෂ්පාදකයින්ට අහිමිවේ



ඉන්දීය බොලිවුඞ් චිත‍්‍රපටයක රූපගත කිරීම සඳහා රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ටෙලි නාට්‍ය නිෂ්පාදනය සඳහා ඉදිකර තිබූ පසුතල ඩෝසර් කිරීමට සැරසෙන බව වාර්තාවේ.
සිනමා ගම්මානයේ ඉන්දීය බොලිවුඞ් චිත‍්‍රපටයේ පසුතල ඉදිකිරීම සඳහා කොන්ත‍්‍රාත්තුව ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ මන්තී‍්‍රවරයෙකි.
රුපියල් කෝටි ගණනක වියදමින් ඉදි කළ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ පසුතල රැසක් ඉන්දීය චිත‍්‍රපටය රූගත කිරීම සඳහා ඉවත් කෙරෙන අතර, මෙහි රූගත කිරීමට යෝජිතව තිබූ තවත් ටෙලි නාට්‍යය දෙකක් ඉවත් කර ගැනීමට එහි නිෂ්පාදකයින්ට සිදුවී තිබේ.
රන්මිණිතැන්න නැතහොත් සෙරෙන්ඩික් ටෙලි සිනමා ගම්මානය ශී‍්‍ර ලංකාවේ කලාකරුවන්ට උත්සවශී‍්‍රයෙන් විවෘත කළ පසු ආණ්ඩුව නව කොන්දේසියක් හඳුන්වා දෙනු ලැබීය. කිසියම් ටෙලි නාට්‍යයක් ජාතික රූපවාහිනියෙන් හෝ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරවා ගැනීමට නම් නිර්මාණයෙන් 80% ක් අදාළ ගම්මානයේ රූගත කළ යුතුය යන්න එම කොන්දේසියයි.
එහෙත්, රන්මිණිතැන්නේ රූගත කළ ටෙලි නිර්මාණ අදාළ නාලිකාවලට ගෙන ගොස් දෙද්දී නාලිකා ප‍්‍රධානීන් එම කොන්දේසිය කිසිදු ලෙසකින් මායිම් නොකළ බවටද පසුගිය කාලයේ කලාකරුවන්ගෙන් චෝදනා එල්ල වී තිබිණ.
රන්මිණිතැන්නෙහි බොලිවුඞ් චිත‍්‍රපටයක් සඳහා අනුමැතිය ලබාදීමත් සමග එම ටෙලි ගම්මානයේ තම රූපවාහිනී ටෙලි නාට්‍යයන් මූලික කොටස් රූගත කොට කොළඹට පැමිණි නිර්මාණකරුවන්ට පසුගියදා බලවත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවී ඇත. එම ටෙලි නාට්‍ය කණ්ඩායම මීට දින කිහිපයකට පෙර නැවත තම නිර්මාණයේ දෙවන අදියර සඳහා නළු නිළියන් සමග රන්මිණිතැන්නට ගිය අවස්ථාවේදී එහි බලධාරීන් එම පිරිස ආපසු හරවා එවා ඇත්තේ, එම ගම්මානය තුළ අති දැවැන්ත විදේශ චිත‍්‍රපටයක පසුතල නිර්මාණය කරන බැවින්, අන්කිසිදු රූගත කිරීමක් සඳහා ඒ තුළ අවසර නොමැති බව පවසමිනි.

මේ අතර මෙම අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජාතික රූපවාහිනියේ විකාශය කල  ‘කෝරළේ මහත්තයා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නවතා දමා ඇති අතර, එම ටෙලි නාට්‍ය රූගත කළ පසුතල දර්ශන ටෙලි සිනමා ගම්මානයෙන් ඉවත් කිරීමට යෝජිතය.
කොටස් 50 ක රූගත කිරීම් අවසන් කර ඇති එම ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් 50 රූගත කිරීම මේ නිසා අතහැර දැමීමට එම ටෙලි නාට්‍යයේ නිෂ්පාදකයන්ට සිදුව ඇති බව වාර්තාවේ.

0 comments:

Post a Comment