Wednesday, May 15, 2013

මාලන් බ‍්‍රැන්ඩො 'ගෝර්ඞ් ෆාදර්' වුන හැටි දන්නවා ද ?

( නිව්යෝර්ක් සිනමා උළෙලේ හොඳම නළුවාට නිර්දේශව ඇති ජගත් චමිල සමග 'මිරර් ආර්ට්' වෙබ් අඩවිය කළ සංවාදයකි.)
ජගත් ඔබව නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නළුවාට නිර්දේශවෙලා සතුටුයි නේද?
ඇත්තටම ලොකු සතුටක් .මගේ ජීවිතේ මට දැනෙන, හැගෙන දේ තමා අපි කරණ කැපවීම් අනුව අපිට මේ වගේ අවස්ථා ලැබීම. ඇත්තටම ප‍්‍රියංකර සර් මට මේ චරිතය ගැන කිව්වෙ දුරකථනයෙන්. අපි වසර 10කින් විතර මුණගැහිලා තිබුනෙ නැහැ. කෙසේ හෝ අමෙරිකාවේ සිට ඔහු පැමිනි පසු මා ඔහු මුණගැසෙන්නට ගියා මේ සම්බන්ධයෙන් කතාකරන්නට එන්නට කිවූ පසු. මෙහිදී මට දැනුනේ වෙනස්ම ආකාරයේ හැගීමක්. මා හිතුවා මේ සඳහා මා යායුත්තේ ජගත් චමිල ලෙස නොවේ කියා. මම බිරිඳ සමගයි ඔහු මුණගැසීම සඳහා ගියේ. ඒ යනවිට ප‍්‍රියංකර සර් සැමීගේ චරිතය සම්බන්ධව පැවසූ, මා සිත තුළ ඇඳී තිබූ රූපකායෙන් යුතුවයි මා එහි යන්නට තීරණය කළේ. ඒ අනුව මා කටේ පුළුන් පුරවගෙන එහි ගියා. ඔහු හමුවට මා ගියවිට මා දෙස මොහොතක් බලා සිටියා. මමත් කතා නොකර සිටියා. මම කිව්වා' මම ජගත් චමිල' කියලා. ඔහු මොහොතක් හිඳ කිව්වා,
'ජගත් මේ තමා මගේ සැමී' කියලා ඉතින් ඇත්තටම එය පුදුම සිදුවීමක් වුණා .
ඒ කියන්නේ අධ්‍යක්‍ෂවරයාගේ චරිතය ඔබ සාර්ථක ලෙස අවබෝධ කර ගැනීම කියන කාරණයයි
මම හිතනවා එය එසේ වන්නට ඇති කියා. මේ සම්බන්ධව ප‍්‍රියංකර සර් අපූරු හෙලි දරව්වකුත් කළා. සර් මගෙන් ඇහුවා 'මාලන් බ‍්‍රැන්ඩො ගෝර්ඞ් ෆාදර් චිත‍්‍රපටයට තෝරාගත් ආකාරය ඔබ කියවලා තිබෙනවාද කියලා. මම 'නැහැ' කිව්වා .ඔහු කිව්වා මාලන් ගෝර්ඞ් ෆාදර් සඳහා නළු නිළියන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණය සඳහා අධ්‍යක්‍ෂ සහ නිෂ්පාදක වරයා සිටි තැනින් එම චරිතය ආකාරයෙන් වෙස්වළාගෙන එතැනින් එහාටත් මෙහාටත් කිහිප පාරක් ගිහින් තිබෙනවා. එවිට නිෂ්පාදක හා අධ්‍යක්‍ෂ පවසා තිබෙනවා 'අර ඉන්නෙ ගෝර්ඞ් ෆාදර් වගේ කෙනෙක් කියලා'. ඉතින් ඒ කතාව යි මේ අතරෙයි යම් සියුම් සබඳතාවක් ඇති බව යි පෙනෙන්ට තිබෙන්නේ. නමුත් සත්තකින්ම මා එවැන්නක් දැන සිටියේ නැහැ.
ඇත්තටම සැමී ලෙස මා වෙස්වළාගත් ආකාරයත් චිත‍්‍රපටයෙ අධ්‍යක්‍ෂවරයාගේ සැමීත් අතර එක හා සමාන කම් තිබුණෙ. ඇත්තටම මම ඒ ගැන හිතනකොට පුදුමත් හිතුනා.
ඔබ කොහොමද 'සැමී' ලෙසට පත්වන්නේ ?
මෙහි 'සැමී' යනු අදටත් ජීවමාන චරිතයක්. ඔහු ජීවත් වෙන්නේ සැමීගේ කතාවේ ගත්කතුවර එල්මෝ මහතාගේ නිවසේ. මා අධ්‍යක්‍ෂවරයාගේත්, නවකතාකරුගේත් අවසරය මත ඇත්ත සැමීව මුණගැසුණා
ඔහු කුමනාකාර මනුස්සයෙක් ද ?
ඇත්තටම සංවේදීතාවන්ගෙන් අඩු අයෙක්. ඔහු එතැනට පැමිණ තිබෙන්නේ නවතින්නට තැනක් හොයාගෙන. එල්මෝ මහතා ඔහුට නිදහසේ ඉන්න ඉඩදීලා තිබෙනවා. ඔහු ගැන පොතක් ලියලා තියෙනවා කිව්වහම ඔහුට ඒක පිළිබඳ කිසිම හැගීමක් නැහැ. සැමීට කිව්වා මේ මහත්තුරු චිත‍්‍රපටයක් කරණවා සැමී ගැන කියලා. එතකොට සැමි ඇහුවෙ "තේද ? කිරිකෝපිද? කෝපිද? බොන්න කැමති කියලා. ඔහු පුරුදු වෙච්ච රාමුවක, වචන ටිකක, හැගීම් ටිකක ජීවත්වන කෙනෙක්. මම මේ චරිතයට වෙස් ගැන්වුවේ හේමන්ත ගමගේ. ඒ වගේම මේ චරිතය සඳහා මම කෘතිම දත් පළදින්න වුණා. ඒ සඳහා ඉතා සාර්ථක විශාල මෙහෙවරක් කළේ මොරටුවේ වෛද්‍ය ජයන්ත සහ තාක්‍ෂණික ශිල්පී නෙවිල් යන අයයි. ඔවුන් ඉතා සාර්ථකලෙස කෘතීම දත් මා වෙනුවෙන් නිර්මාණය කළා. පැළඳ ගන්නත් එය දැමූ පසු කතාකරන්නත් පහසුවන ආකාරයට.
සැමීගේ කතාවේ සැමීගෙ චරිතයෙහි විශේෂතා මොනවද?
සැමී මුළු ආත්මයෙන්ම සිය මවට ආදරය කරණ දරුවෙක්. මේ නිසාම සැමීට ඕනෙ වෙනවා අම්මා විඳින කටුක පීඩාවන්ගෙන් ඇයට යම්කිසි සහනයක් දෙන්න, සැමීට අනිත් සාමාන්‍ය අයට වගේම වැඩ කරලා හම්බකරන්න පුළුවන් කියලා ඔප්පුකරලා අම්මට කීයක් හරි හොයලා දෙන්න. මේ නිසා සැමී අම්මට කියනවා එයාට ගෙදරක වැඩ කරන්න හරි හොයලා දෙන්න කියලා. අම්මා එයාව කෙනෙකුගෙ මාර්ගෙන් ගෙදරකට යවනවා . ඒ ගෙදරට ගියහම ඒ අයිති මහත්තයා අහනවා 'මොනවද කරන්න පුළුවන් වැඩ' කියලා . සැමී කියනවා 'මකුළු දැල් කඩන්න'  කියලා. 'කොයිකාලෙ ඉඳන්ද කියලා' අහපුවහම කියනවා 'ඉපදුන දවසෙ ඉඳන්' කියලා. මේ කතාවෙ සැමීගෙ මව මිය යනවා. මේ හේතුවෙන් ඔහු මානසිකව වැටෙනවා. නමුත් මෙහි අධ්‍යක්‍ෂවරයා ඔහුගෙ ජීවිතයට බලාපොරොත්තුවක් ඇති කරණවා. එය තමයි නිර්මාණකරුවගේ දක්‍ෂතාව. මොකද සෑම මිනිසෙකුටම ජීවත්වෙන්න අරමුණක් වගේම බලාපොරාත්තුත් අවශයයි කියන මානුෂික කාරණය මෙහිදී අධ්‍යක්‍ෂවරයා සිය නිර්මාණය තුළ ප‍්‍රකාශ කරණවා.
සැමීගේ කතාව තුළ මේ සමාජයේ මිනිසුන් මුහුනපාන සමාජ ආර්ථික දේශපාලනය කතාකරනවා. දේශපාලන ය තුළ මිනිසුන් මුහුනදෙන සමාජ අවධානම ගැනත් කතාකරනවා. නමුත් මූලික වශයෙන් කේන්ද්‍රවී තිබෙන්නෙ සැමී තුළයි.
මෙහි අනෙකුත් චරිත රගපාන්නෙ කව්ද?
සනත් ගුණතිලක, අම්මා ලෙස නිල්මිණී බුවනෙක ඇය ඉතා දක්‍ෂ රංගනයක යෙදෙනවා. ඒ වගේම වසර 10කට පමණ පසු මැණික් කුරුකුලසූරිය ත් මෙහි රගපානවා. විල්මන් ජයමාන්න සහ වික්ටර් රාමණායක ආදී වශයෙන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. රුවන් කොස්තා කැමරා කළා, හේමන්ත ගමගේ වේශ නිරූපණය කළා, සහාය අධ්‍යක්‍ෂ විමල් දේශප‍්‍රිය.
ජගත් අමෙරිකා යන්නෙ කවද්ද?Click to enlarge image samege-kathawa-main-slide.jpg
සැමීගෙ කතාවේ අධක්‍ෂ ප‍්‍රියංකර සර් මට කතාකළා. ඔහු කිව්වා මා එහි පැමිණිය යුතු බව. මේ වනවිට ඒ සඳහා අවශය කටයුතු සම්පාදනය වෙමින් යනවා.
ජගත් චමිල මේ නිර්දේශ වී ඇත්තේ අතිශය වැදගත් සිනමා සම්මාන උළෙලක හොඳම රංගනය වෙනුවෙනි. මෙවන් තරුණ, දක්‍ෂ නළුවෙකු මෙලෙස සම්මානයට පාත‍්‍රවීම රටක් වශයෙන් අප ලැබූ මහත් ජයග‍්‍රණයකි. මේ සම්බන්ධව මාධ්‍ය හා රූපවාහිනී ආයතන බොහෝ නිහඩය. මෙය වෙනත් කාගේ හෝ නිර්මාණයක රංගන ශිල්පියෙකු වූවානම් මේ වනවිට මාධ්‍ය සංදර්ශණ කෙළවරක් නොවන්නට ඉඩ තිබිණ. කෙසේවුවත් ජගත් චමිල මෙම සම්මාන උළෙලින් හොඳම නළුවන් පස්දෙනා අතරට ඒම ද ජයග‍්‍රහණයක් වන බව මෙහි සඳහන් කළ යුතුය. ඔහු සම්මානයට හිමිකම් කීම සුවිසල් ජයග‍්‍රහණයක් වනු ඇත. මිරර් ආර්ට්ස් ජගත් චමිල ට එම සම්මානයට හිමිකම් කියන්නට සුබ පතන්නෙමු!
-mirrorarts.lk (සංවාද සටහන-මනෝහාරී හේවාවසම්)



0 comments:

Post a Comment