Showing posts with label Music. Show all posts
Showing posts with label Music. Show all posts

Tuesday, April 23, 2013

දෙරණ මියුසික් වීඩියෝ එවොර්ඩ්ස් සංස්කෘතික අපරාදයක් - සෝමරත්න දිසානායක


* විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වී ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල විවේචනය කරමින් ඔබ කළ ප්‍රකාශය සාධාරණයි කියා සිතනවාද?

මම හිතනවා ඒ කළ දේ හරියි කියා. මා කළ ප්‍රකාශය පිළිබඳ මම පසුතැවෙන්නේ නැහැ. සම්මාන උළෙල පිළිබඳ කිසියම් අදහසක් ප්‍රකාශ කිරීමට අපට වේදිකාවට ආරාධනා කරනවනේ. එතනදි තමයි මම ඒ ප්‍රකාශය කළේ. එදා මම මේ සම්මාන උළෙල හොඳයි, සාර්ථකයි කියලා වර්ණනා කරලා ආවනම් මම හිතනවා ඒක වැරැද්දක්. මොකද මගේ හෘද සාක්‍ෂියටත් ඒක විරුද්දයි. මම ගරු කරන අපේ රටේ දේශීය, සංගීත සම්ප්‍රදායටත් විරුද්ධයි. එතනදි මම අදහස් කළේ දෙරණ ආයතනයට පහරක් ගැසීමට හෝ ඔවුන් හෙළා දැකීමට නොවෙයි. ඔවුන්ට සිදු වූ මේ වැරැද්ද නිවැරැදි කිරීමේ සත් පරමාර්ථයෙන්.
* එතකොට ‘දෙරණ’ නාළිකාව එක්ක ඔබේ අවුලක් නැහැ?

ඇත්තෙන්ම ‘දෙරණ’ හොඳ නාළිකාවක්. එය සමහර අංගයන්ගෙන් සෙසු නාළිකාවලට වඩා ඉදිරියෙන් ඉන්නවා. කාලීන සිදුවීම් හා සංස්කෘතික අංගයන් සහිත හොඳ වැඩසටහන් ඔවුන් ඉදිරිපත් කරනවා. ඒ බවත් සිහියේ තබාගෙන මෙතැනදි ඔවුන් නිවැරදි විය යුතු නිසායි මම එවැනි ප්‍රකාශයක් කළේ.
* මෙය නම්කර තිබෙන්නේ ම ‘දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල කියා. එතකොට එහි ආකෘතිය හා කාර්යභාරය ගැන ඔබට අවබෝධයක් තිබුණේ නැද්ද?

නැහැ, එහෙම පෙර අවබෝධයක් තිබුණේ නැහැ. මේ ගොල්ල පවත්වන්නේ මොනවගේ සම්මාන උළෙලක් ද, එහි තිබෙන්නේ මොන වගේ රටාවක් ද කියන එක ගැන මට කිසි අවබෝධයක් තිබුණේ නැහැ. මීට පෙර තිබුණු සම්මාන උළෙලවලට මම සහභාගි වෙලත් නැහැ. අඩුම තරමෙන් රූපවාහිනියෙන්වත් දැකලා තිබුණේ නැහැ. ඇත්තෙන්ම එහෙම දැකලා තිබුණානම් මම එහි යන්නට පෙර ඒ ගොල්ලන්ට පොඩි අවවාදයක් දෙන්නත් තිබුණා. නැතිනම් ප්‍රතික්ෂේප කරන්නත් තිබුණා. ඒ සභාවේ මම වාඩිවෙලා ඉන්නකොට මට ඇහුන, සහ දැනුන දේවල් නිසා මම කම්පනයට පත් වුණා. ඒ මම අනුමත නොකරන දේවල්. මම අපේ රටේ සංස්කෘතිය, දේශීය සංගීතය සහ අපේ බාල පරම්පරාව ගැන වගකීමක් තියෙන පුරවැසියෙක් කියලා හිතනවා. ඒ පසුබිම තුළ හිඳගෙනයි මම අර වගේ ප්‍රකාශයක් කළේ.
* එදා ඔබ කළ ප්‍රකාශය අපේ පාඨකයන් වෙනුවෙන් මේ මොහොතේ සිහිපත් කරමුද?

‘මා මේ සභාවට ආවේ ප්‍රමාදවෙලා වුණත් මා පැමිණි මොහොතේ සිට මෙතෙක් මා ඇසූ, දුටූ දේවල් අනුව ප්‍රමාද වී පැමිණීම ගැන මම කනගාටු වෙන්නේ නෑ. මියුසික් වීඩියෝ අවෝඩ්ස් කියන්නේ සංගීත රූප සම්මාන කියන එක නම් අපේ රටේ සංගීතය මෙතැනදි නියෝජනය වෙනවාද කියන එක මට ප්‍රශ්නයක්.’ ඒ තමයි මම කළ ප්‍රකාශය. එතනදි කිිසිවක් ප්‍රකාශකර නොසිටීමට සිතා සිටියත් අනර්කලී මට යම් අදහසක් පැවසීමට ආරාධනා කළ පසු මගේ වැට බැඳ නැති කටෙන් ඒ වදන් පිටවුණා.
* තව දුරටත් ඔබ යමක් කිව්වා?

ඔව්.. මම අධික රුධිර පීඩනයට ප්‍රතිකාර ගන්නා නිසා, කේන්ති ගැනීම මට අහිතකරයි. ඉතින් ලබන වසරේත් මේ සම්මාන උළෙල මේ ආකාරයෙන්ම පවත්වනවානම් ඊට ආරාධනා කරන්න එපා කියලා මම කිව්වා.
* සංගීතයේ විවිධ ශෛලීන් තියෙනවා. අනෙක කෙනකුගේ රුචිය තව කෙනෙකුට වහ කදුරු නොවෙන්නත් පුළුවන්...?

ඔව්, ලෝකයේ විවිධ සංගීත ශෛලීන්, සම්ප්‍රදායන් තියෙනවා. නමුත් ඕනෑම රටකට තමන්ගේ දේශයට ආවේනික අනන්‍යතාවක් තිබෙනවා. නිදහස තිබුණ පලියට විදේශීය අභාසයකින් දේශීය අනන්‍යතාවය විනාශ වෙනවානම් ඒක ජාතික අපරාධයක්. දේශීය සංගීතයට වසංගතයක් වූ අප්‍රිකානු, ලතින් අමෙරිකානු රැප්, රෙගේ හා තවත් මොනවදෝ කන්දොස්කිරියාවන් විනා එදා අපේ රටට ආවේනික වූ සංගීතයේ නියෝජනයක් සිදුවුණේ නැහැ.
* නමුත් අද තාරුණ්‍යය නැඹුරු වී සිටින්නේ සහ ඔවුන් නිර්මාණකරනයේ යෙදෙන්නේ එවැනි සංගීත ශෛලීන් ආභාස කොට ගනිමින් නේද?
කාගේ වරදකින් හෝ අද තාරුණ්‍යයේ සිතුම් පැතුම් එතැනට තල්ලු වී \;බනවා. ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ. ඒ අයට කැමැති ගීතයක් අහන්න, කැමැති ඇඳුමක් අඳින්න, කැමැති නැටුමක් නටන්න නිදහස තියෙන්න ඕනෑ. නමුත් මම කියන්නේ ‘දෙරණ’ වැනි ජාතික නාළිකාවකින් දිවයින පුරා සජීවීව විසුරවා හරිනවා මේ මියුසික් වීඩියෝ සම්මාන උළෙල. අන්න එතනයි මම දකින වරද. මේක මේගොල්ල පුද්ගලික මට්ටමෙන් කර ගත්තට කමක් නැහැ. නමුත් මෙන්න මේවා තමයි අපේ රටේ සංගීතය කියලා පොදුවේ මුළු රටටම පෙන්නලා මේක තමයි අපේ සංස්කෘතිය සහ අපි සම්මාන දිය යුත්තේ මේවටයි කියලා කියනවානම් ඒක මම හිතන්නේ ජාතික අපරාධයක්.
* සංස්කෘතික ඝාතනයක් ලෙසත් ඔබ මෙය හඳුන්වා දී තිබුණා..?
ඔව්, එක අතකින් සංස්කෘතික ඝාතනයක්.
* ඔබ සුභාවිත ගීයට පි‍්‍රය කරන, ඒවා අගයන කෙනෙකු විදිහටයි මේ විරුද්ධ මතය ගෙනහැර පාන්නේ?
මම සුභාවිත ගීයට ආදරය කරන කෙනෙක් තමයි. ඒත් පැහැදිලිවම කිව යුතුයි මම අනෙක් සංගීත රටාවන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මම කියන්නේ නෑ අපේ රටේ සංගීතය මේ ජන සංගීතය පමණක් විය යුතුයි, රාගධාරී සංගීතය පමණක් විය යුතුයි කියලා. ඒ මතයේ මම නැහැ. අපේ සංගීතයේ ජන සංගීතය, උත්තර භාරතීය රාගධාරී සම්ප්‍රදාය, එතකොට බටහිර ශෛලිය මේවා ඔක්කොම සංකලනය වී තිබෙනවා. නමුත් මේ සම්මාන උළෙලේ සිදු වුණේ අපේ ජන ගායනා හෝ උත්තර භාරතීය සංගීතය හෝ අපි කියන ඔය සුභාවිත ගීතය අවප්‍රමාණයට ලක් කිරීමයි. එහෙම කිසිම සංගීත රටාවකට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. එහි තිබුණේ අර නව පරපුරේ පොප් සංගීතය පමණයි. එවැනි නිර්මාණ කිහිපයක් උලුප්පා දක්වමින් මේක තමා අපේ සංගීතය කියා ජාතික නාළිකාවකින් සජීවීව මුළු රටටම පෙන්වපු එක වැරදියි කියලා තමයි මම කියන්නේ.
* ඉස්සර අපි ග්‍රැමෆෝනයෙන්, ගුවන් විදුලියෙන් අහපු ගීත අද රූපවාහිනියෙන්, වීඩියෝ මාධ්‍යයෙන් දකිනවා. රූප රචනය එහෙම නැතිනම් මේ විෂුවල් කියන මාධ්‍යය අද ගීතයක ජනප්‍රියත්වයට හේතුවන ප්‍රබල සාධකයක් වී හමාරයි. ඔබ කියන්නේ එවැනි අංගයක් ගීතයට අවශ්‍ය නැහැ කියලද?
අනේ නැහැ, මම කවදාවත් එවැනි කතාවක් කියන්නේ නෑ. රූප රචනය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. මොකද රූප රචනය කියන්නේ සංගීතයට එකතුවෙන හතරවැනි මානයක්. මෙතෙක් කල් අපට ගීතය සම්බන්ධව තිබුණේ පද රචනය, තනුව හා ගායනය කියන අංශ තුනනේ. දැන් මේ අලුතින් එකතු වූ ප්‍රවණතාව අපට බැහැර කරන්නට බැහැ. මම කියන්නේ ඒ තාක්‍ෂණය මඟින් අපේ සංස්කෘතිය, බාල පරපුරට අරුත් ගන්වන්නේ කොහොමද කියන එකයි. එහෙම නැතිනම් ඒ සංස්කෘතික අංගයන් ආරක්‍ෂාකර ගැනීමට අවබෝධයක් තියෙන්න ඕනෑ. මියුසික් වීඩියෝ කියන්නේ රූපනම් ඇයි අපට බැරි සුභාවිත ගීතයට ;හාඳ හරවත්, සංවේදී සාහිත්‍යමය රූපරචනයක් කරන්න. අපි එහෙම කරලත් තියෙනවා.
* නමුත් ඔබ කියන ආකාරයේ සුභාවිත ගීත අද තරුණ පරපුර වෙතින් බිහි වෙන්නේ නැහැනේ?
ඇයි නැත්තේ. ඉඳහිට හෝ එවැනි දේවල් වෙනවා. එහෙම නොවෙනවානම් අපි ඒවට උනන්දු කරවන්න ඕනෑ. එහෙම අතරින් පතර හෝ බිහිවුණ නිර්මාණ මේ සම්මාන උළෙලේ දී අවධානයට ලක් වී නැහැ. ඒ අය කියනවානම් සුභාවිත, නැතිනම් සම්භාව්‍ය ගීතයට එහෙම රූප රචනාවන් වෙලා නෑ කියලා මට උදාහරණ පෙන්වන්න පුළුවන්. මට පුළුවන් ලයිස්තුවක් දෙන්න. රූප රචනා කියන ඒවා එන්නේ රූපවාහිනියේ විතරක් නෙවේ. සමහරවිට චිත්‍රපටවල පවා එවැනි හොඳ රූප රචනා තියෙනවා. අද මේ තියෙන තාක්‍ෂණය එක්ක අපට විවිධ දේ මවා පාන්නට පුළුවන්. ඒ මවාපෑම හොඳයි. නමුත් ඒ මවාපෑම සහ තාක්‍ෂණික මෙවලම් පාවිච්චි කළ යුත්තේ කිසියම් හැඟීමක් උද්දීපනය වෙන ආකාරයෙන්.
* එතැනදි එහෙම දෙයක් වුණේ නැතිද?
එතන තිබුණේ ඝෝෂාකාරී සංගීතයයි, ගෑනු ළමයින්ගේ අඩ නිරුවතයි, නටන්න රිද්මයකුයි පමණයි. සංගීතය කියන්නේ ඕකට නෙවේනේ. ගීතයක් අහලා එහි තිබෙන නාද රටාවන්ට සහ පදමාලාවට අපි දැහැන්ගත වෙනවානම් ඒ රූප රචනයේ පවා සංයමයක් තිබිය යුතුයි. මේ අලුත් තාක්‍ෂණය පාවිච්චි කරලා උඩයට මාරු කරලා, ළමයි ඔළුවෙන් හිටවලා කැරකෙව්වට වැඩක් නෑ. ඒ තාක්‍ෂණය භාවිත කළ යුත්තේ ගීතයේ තිබෙන භාවයන් ප්‍රකාශවෙන එහෙම නැතිනම් කුළු ගැන්වෙන අයුරින්.
* ඔබේ හිතමිත්‍ර ජැක්සන් ඇන්තනි පවා මෙහි විනිශ්චය මණ්ඩලය නියෝජනය කළා?
මට විනිශ්චය මණ්ඩලය විවේචනය කරන්න බැහැ. මම දන්නේ නැහැ විනිශ්චය මණ්ඩලය ඇතුළේ මොන විදිහේ ප්‍රශ්න තිබුණාද, එකඟතා තිබුණාද කියලා. නමුත් විනිශ්චය මණ්ඩලයේ දෙදෙනෙක් අදහස් ප්‍රකාශ කළා. එතැනදි ඔවුන්ගෙන් කිසියම් පශ්චත්තාපයක් ප්‍රකාශ වුණා. ජැක්සන් ඇන්තනි මහත්මයා කිව්වා සම්මාන උළෙලකදී විනිශ්චය මණ්ඩලය මුහුණ දෙන ගැටලු දෙකක් ගැන. එකක් තමයි තරගයට ඉදිරිපත් කෙරෙන සියලුම නිර්මාණ හොඳම මට්ටමේ තිබුණොත් කාටද සම්මාන දිය යුත්තේ කියන ගැටලුව. අනෙක් ගැටලුව තමා ඒ ඉදිරිපත් කරන නිර්මාණ සියල්ලම අන්තිම දුර්වල වුණාම කාටද සම්මාන දෙන්නේ කියන එක. ‘මම මේ නිර්මාණ ඒ දෙකෙන් කොයි එකටද අයත් වන්නේ කියා කියන්නේ නැහැ’ කියා ජැක්සන් පැවසුවා. මම හිතන්නේ ඔහු යම් ඉඟියක් දුන්නා. නමුත් ඒක සාමාන්‍ය ප්‍රේක්‍ෂකයාට තේරෙන්නේ නැහැ. දිලීප අබේසේකරත් යම් ඉඟියක් දුන්නා. නමුත් ඒවා මේ සාමාන්‍ය ජනතාවට ප්‍රහේලිකා විතරයිනේ. මට ඕනෑ වුණේ ඒ ප්‍රහේලිකාවක් නොවී සාමාන්‍ය ජනතාවට මගේ හැඟීම පුකාශ කරන්න. තමන්ට අප්‍රසාදයක් තියෙනවානම් ඒ අය දැනගන්න ඕනෑ තේරෙන භාෂාවෙන් ඒ දේවල් කියන්න.
* ටී. එම්. ජයරත්න, ආචාර්ය රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණ සංගීත ශිල්පීන් වගේම අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර, රවීන්ද්‍ර රන්දෙණිය, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්න ජයකොඩි, බූඩි කීර්තිසේන වැනි ප්‍රවීණ සිනමාවේදීන් මෙම උළෙල නියෝජනය කළා. ඔවුන් අතින් තෑගි ප්‍රදානය වුණා?
ඔව්
* එතකොට ඔබ කියන්නේ මේ ප්‍රවීණයන් ‘දෙරණ’රූපවාහිනිය මගින් ගොනාට ඇන්දුවා කියල ද?
ටී. එම්. ජයරත්න, රෝහණ වීරසිංහ කියන්නේ අපට අමරදේව පරපුරේ සිටින විශිෂ්ට සංගීතකරුවන් දෙදෙනෙක්. ඉතින් ඔවුන් අතින් කවුද සම්මාන ලබන්නේ. ඒ අගැයීමට ලක් කරන්නේ මොන විදිහේ සංගීතයක් ද කියන එක මට තියෙන ප්‍රශ්නයක් ඇත්තටම. මම දන්නේ නෑ ටී. එම්. ජයරත්න හෝ රෝහණ වීරසිංහ මහත්වරුන් ඒ අවස්ථාවේ මොන විදිහේ හැඟීමකින් හිටියද කියලා. නමුත් කිසියම් පසුතැවීමකින් යුතුව ඔවුන් පසුව මට කතා කරලා කිව්වා. ඒ අයට කියා ගන්න බැරිව සිටි දේ මම කළා කියලා. හැබැයි මම එකක් කියන්න කැමතියි. ඔබ ඔය සඳහන් කළ කලාකරුවන් කිසියම් විදිහක තාවකාලික උගුලකට හසුවී සිටියාදෝ කියන හැඟීම මට තියෙනවා. ඔවුන් විශේෂිත ආරාධිතයන් නිසා කිසියම් අන්දමක සදාචාරාත්මක දෘෂ්ටියකින් මේවා ඉවසා දරා සිටියාද මම දන්නෙත් නෑ.
* ඔබේ සදාචාරාත්මක නොවීම ගැන...?
නෑ එතනදි සදාචාරත්මක නොවුණයි කියලා මම කනගාටු වෙන්නේ නැහැ. ජාතික වගකීමක් හැටියට යම් අදහසක් ප්‍රකාශ කළා කියන එක තමයි මගේ අදහස. අවසන් වශයෙන් මම ‘දෙරණ’ නාළිකාවෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේදී මෙම සම්මාන උළෙල ඔවුන්ගේ වෙනත් යහපත් වැඩ සටහන් ගොන්නට එකතුකර ගන්න කියලයි. මගේ හෘදයාංගම ප්‍රාර්ථනයත් එයයි.

මත විමසුම – අසංක දේවමිත්‍ර පෙරේරා  


සෝමරත්න දිසානායක මහතාගේ මතයට දෙරණ රූපවාහිනී සබාපති ලක්සිරි වික්‍රමගේ මහතාගේ පිළිතුරු ලිපිය 
http://doopathainfo.blogspot.com/2013/04/blog-post_21.html

Sunday, April 21, 2013

සිනමාවට කල විනාශය, සංගීතයටත් කරන්න හදනවා -දෙරණ සභාපති


දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල පිළිබඳ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳ මුලින්ම ඔබේ අදහස දැන ගන්න කැමතියි?
ඒ ප්‍රකාශය එතරම් පැහැදිලි නෑ. අනෙක එතන හිටපු අය ඒ අදහසට විරුද්ධවනේ තමන්ගේ මතය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම චන්න පෙරේරා වැනි තරුණ පෙළ නියෝජනය කරන කලාකරුවෙක්. එතන තිබ්බේ මියුසික් වීඩියෝ සම්මාන උළෙලක්නේ. ඒ කියන්නේ වීඩියෝවලට තමයි සම්මාන දුන්නේ. මියුසික් වලට නෙවෙයි.. මට පැහැදිලි වුණ දේ තමයි සෝමරත්න දිසානායක මහතා කතා කළේ ඒවායේ මියුසික් නැතිනම් ගී පදමාලා ගැන.හරිද? එතුමා ඇහුව ප්‍රශ්නය තමයි මේකද ලංකාවේ මියුසික් කියන්නේ’ කියලා.
අපටත් ඒකම අහන්න වෙනවා?
උත්තර භාරතීය සංගීතයත් ලංකාවේ මියුසික් නෙවෙයිනේ. ඒක ඉන්දියාවේ. එතකොට ලංකාවේ මියුසික් එහෙමනම් ජන සංගීතය විතරයි. අපි සුනිල් ශාන්තයන් ගම්මුකෝ.සුනිල් ශාන්තයන් පවා ඔය කියන ක්‍රමයට විරුද්ධ වෙලානේ ගුවන් විදුලි සංස්ථාවෙන් එළියට බැස්සේ.එතුමා ඕකට කිව්වේ 'ලංකස්ථානී’ කියලා.මෙතනදි අපි කළේ නොයෙක් සංගීත ශෛලීන්ගෙන් නිර්මාණය වූ මියුසික් වීඩියෝස්වලට සම්මාන පිරිනැමීම. අපි එය එක් භාෂාවකට සීමා කළේ නැහැ.උදාහරණයකට ගන්න ඉරාජ් ගේ ගීතය. ඒ ගීතය ඇතුළේ නේපාල භාෂාවයි, ඉංගී‍්‍රසි භාෂාවයි,සිංහල භාෂාවයි තුනම තියෙනවා.එතකොට ගිය අවුරුද්දේ මාල දිවයිනේ ජනපි‍්‍රයම ගීතය නිර්මාණය කරලා තියෙන්නේ ඉරාජ්.
ඔබ ඒ ජනපි‍්‍රයත්වය මනින නිර්ණායකය කුමක්ද?
දැන් ඔය චාට් ෂෝ කියලා තියෙනවානේ. ඒවායේ උඩටම ආපු ගීතයක් මේ. මේක මාලදිවයින් භාෂාවෙන් ඉරාජ් කරපු ගීතයක්.අපිට දර්ශනයක් තියෙනවනේ."ක්ෂිතජයෙන් එහා ලෝකය දකින තරුණයෝ’ කියලා. හරිග එතකොට දැන් බලන්න අපේ සම්මාන උළෙලට ජය ශ්‍රී ලා අවේ ඉතාලියේ ඉඳලා. ඒ වගේම චිත්‍රාල් සෝමපාල අවේ ජර්මනියේ ඉඳලා .ඔවුන් තමයි ලෝකය ජය ගත්ත ශ්‍රී ලාංකික සංගීතඥයෝ වෙන්නේ. එතකොට ආර්.එම්. දිනේෂ් කියන්නේ ලංකාවෙ කොල්ලෙක්.මේ දවස්වල එයා පිටරට ඉන්නේ."කඩෙල්’ කියන මනිරත්නම් ගේ චිත්‍රපටයේ ඒ. ආර්. රහුමන් ගේ සංගීතයටිවගුඩි කියන ගීතය ගායනා කරන්නේ එයා.අපේ සංගීත උළෙලෙත් එයාගේ ගීතයක් නොමිනේට් වුණා. ඒ තමයි ජාත්‍යන්තරය ජයගත්ත අපේ තරුණයෝ.
නමුත් ඔබ කියන ඔය නිර්මාණවල "දේශීය අනන්‍යතාවක්’ තියෙනවද? සෝමරත්න දිසානායක මහත්මයාගේ චෝදනාවත් ඕකමනේ?

මුලින්ම කියන්න ඕනෑ සෝමරත්න දිසානායක කියන්නේ අපේ හොඳ හිතවතෙක්. එතුමන් එක්ක අපේ කිසිදු පෞද්ගලික අමනාපයක් නෑ. මේක මතවාදී ගැටුමක් විතරයි. එතුමා එදා කළ ප්‍රකාශය අපි හෙළා දකින්නේ නෑ. ඒ වේදිකාව තිබුණේ ඒකට තමයි.නමුත් එතුමාගේ අදහසට ගරු කරනා ගමන් අපි අපේ මතයත් මෙසේ ගෙන හැර දක්වන්න ඕනෑ.දැන් ඔබේ ප්‍රශ්නයට යමු. සංගීතය විශ්ව භාෂාවක් කියන එක තමයි අපි පිළිගන්නේ. මොකද එහෙම නොවුනොත් අපට ජාත්‍යන්තරයට යන්න බෑනේ.
නමුත් අපි ජාත්‍යන්තරයට යායුත්තේ "අපේකම” රැකගෙන නේද?
ඔව් ඒ නිර්මාණවල බොහෝවිට අපේකම තියෙනවා. සෙන්ටිග්‍රේඩ්ලාගේ සමහර ගීතවල තියෙන්නේ අපේ ජන සංගීතයේ මූලාශ්‍ර. එතකොට භාතිය සන්තුෂ්ලගේ "රන් කුරහන් මල” ගීතය ගන්න.එතැන අපේකම නැද්ද? ඒ වගේ තව උදාහරන ඕනෑතරම් තියෙනවා.නමුත් අපි ඔවුන්ට මේ සම්මාන උලෙළේ විශේෂ සම්මානයක් පිරිනැමුවේ ඒ නිර්මාණ පක්‍ෂය සලකා බලලා නෙවෙයි.භාතිය සන්තුෂ් කියන්නේ මේ වීඩියෝ පරම්පරාවේ ආරම්භකයෝ නිසා.මේක වෙනම පරම්පරාවක් මේ මියුසික් වීඩියෝ පරම්පරාව.
ඒ පරම්පරාව ඉහළට ඔසවා තැබීමයි මේ. සම්මාන උළෙලේ අරමුණ වුණේ?

ඇයි එතකොට අමරදේවයන්ට, වික්ටර් රත්නායක, ටී.එම්. ජයරත්න, සුනිල් එදිරිසිංහ වැනි ප්‍රවීණයන්ට සම්මාන නැත්තේ කියලානේ ඔබ ඔය අහන්නේ.හරි පැහැදිලි උත්තරයක් එතැන තියෙනවා. ගිය අවුරුද්දේ නිර්මාණය වුණ ඒගොල්ලන්ගේ මියුසික් වීඩියෝස් නැහැ.ගීතය දෘෂ්‍ය මාධ්‍යයට එනකොට වීඩියෝ නැතුව බැහැනේ. ඔය රාගධාරි සම්ප්‍රදායේ ගීතවලට තමා මමත් වැඩිපුර කැමැති. මම අමරදේවයන්ට කැමතියි.ඒ වගේම ජෝතිපාලටත් කැමැතියි.
කොහොම වුණත් මේ සම්මාන පිරිනැමුණේ ගීතයේ ගුණාත්මක පාර්ශවය සලකා බලා නෙවෙයි. එහි රූප රචනයට.එතකොට මේවා නිර්මාණාත්මක අතිනුත් ඉහළ මට්ටමේ තියෙනවා කියලද ඔබ කියන්නේ?

නැහැ.සමහර ගීත පිළිබඳ අපටත් ගැටලු තියෙනවා.ඇතැම් ගී පදමාලා හොඳ මට්ටමක නෑ.ඉතින් එහෙම දේවල් හොඳයි කියලා අපට නිර්දේශ කරන්න බෑනේ. අපි ඒ ඒ අංශයන්ට සම්මාන නොදුන්නේත් ඒ නිසයි. හැබැයි සංගීතය විශ්ව භාෂාවක්ය කියනතැන ඉඳන් බැලුවොත් අපට භාෂාව ප්‍රශ්නයක් නෙවෙයි. එතනදි ප්‍රමුඛතාව හිමිවන්නේ සංගීත පාර්ශවයට. දැන් බලන්න ඒ.ආර්.රහුමන් ඉන්දියාවේ සම්ප්‍රදායික සංගීත ක්‍රමවන ක්වාලී එතකොට ගසල් බටහිර සංගීත ශෛලිය එක්ක මුසුකරලා ඒක ලෝකෙට අරන් ගිහින් තියෙනවා. ඇකඩමි සම්මාන ගන්න තත්ත්වයට පවා ගිහින් තියෙනවා. ඒ නිසා මෙතනදි පැහැදිලිව කියන්න ඕනෑ අපි රූප රචනයට නෙවෙයි ගීත රචනයටයි සම්මාන දුන්නේ.
එතකොට හොඳ'මෙලඩි පවර්’ එකක් නැති දුර්වල පදමාලාවක් සහිත ගීතයකට වුණත් හොඳම මියුසික් වීඩියෝව විදිහට සම්මාන ලැබෙන්න පුළුවන්?

ඔව්. ඔව්.අනිවාර්යයෙන්ම. ඒත් අපිටත් ප්‍රශ්න තියෙනවා. ඕවයේ පදමාලා ගැන. ඒ වුණාට මම මුලිනුත් කිව්වා වගේ පදමාලාව බලන්නේ නැහැනේ. රූප රචනයට නේ සම්මාන දෙන්නේ.
ගීතයේ ප්‍රමිතිය රැකගන්නවා වෙනුවට ඇයි එහෙම ක්‍රමවේදයකට ඔබ ගියේ?
නෑ, එහෙමනම් අපි සංගීත සම්මාන උළෙලක් තියන්න ඕනෑ. මම එදාමත් කිව්වා. ඒක බොහොම බරපතළ කාර්යයක්. අපි තවම එතැනට ඇවිත් නෑ.ඒ නිසයි මේක මියුසික් වීඩියෝ සම්මාන උළෙලක් විදිහට අපි පැවැත්තුවේ.මෙතනදි සම්මාන දෙන්නේ රූප රචනයට,සංස්කරණයට,වගේ ඒවටනේ. බෙස්ට් පර්ෆෝමන්ස් කියලා අපි සම්මානයක් දීලා තියෙනවා. ඒ ගායකයා හෝ ගායිකාව කළ හොඳම රඟපෑමට. කිසිම වෙලාවක හොඳම ගායනයට, හොඳම ගීත රචනයට, හොඳම තනුවට අපි සම්මාන දුන්නේ නෑනේ.
එතකොට මොකක්ද ඔබේ අරමුණ මේ රූප රචනයට එහෙම නැතිනම් විෂුවල් එකට සම්මාන පිරිනැමීමේ?

ඒක ඉතාම පැහැදිලියි. සංගීත ක්‍ෂේත්‍රය අදවිශාල කර්මාන්තයක්. මේ ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ රුපියල් බිලියනයක විතර පිරිවැටුමක් තියෙනවා.මම ඒක හරියටම ගණන් බලා නෑ.මේකේ නියැළිලා ඉන්නවා විශාල තරුණයෝ සංඛ්‍යාවක්. එතකොට අපේ ටෙලිවිෂන් කර්මාන්තයත් ඒකෙන් පෝෂණය වෙලා තියෙනවා. ඕනෑම ටෙලිවිෂන් චැනල් එකක නිකං තියෙන වෙලාවක් බැලුවොත් ඒකෙ ගහන්නේ මියුසික් වීඩියෝ. එතකොට මේකෙ නියැළිලා ඉන්න තරුණයෝ අලුත්, අලුත් දේවල් කරනවා.ඔවුන් දිරිමත් කිරීම තමයි අපේ අරමුණ වුණේ.
ඔය මොනවා කළත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරැකීම කාගේත් යුතුකමක් සහ වගකීමක් නේ?

මට කියන්න මොකක්ද ලාංකික අනන්‍යතාවය කියන්නේ.හින්දුස්ථානී රාගධාරී සම්ප්‍රදායට ද?
අපි මහා සම්ප්‍රදාය හැටියට පිළිගන්නේ එයනේ. දැන් අපි සුභාවිත ගීතය කියා හඳුන්වන්නේ ඔය කියන සම්ප්‍රදායේ මුලාශ්‍රවලින් බිහි වූ නිර්මාණවලටනේ.?
ඒක වෙනම සබ්ජෙක්ට් එකක්නේ. සුනිල් ශාන්තයන් ගුවන් විදුලියෙන් එළියට බැස්සේ ඔය පටු ආකල්ප නිසානේ. ඊළඟට ඔය සම්ප්‍රදායෙන් මිදුණ කොච්චර අය අපට හිටියද? සී. ටී.ප්‍රනාන්දුල ක්ලැරන්ස්ල රූකාන්ත වගේ අය දැන් ගිය අවුරුද්දේ ලෝකයේ ජනපි‍්‍රයම ගීතය මොකක් ද කියලා ඔබතුමා මට කියන්න.
ඔබතුමාම කියන්නකෝ?
Gangnam Style කියන කොරියන් ගීතය. හැබැයි ඒකේ භාෂාව විතරයි කොරියන්. ඒකේ ශෛලය 'හවුස්’ කියන සංගීත සම්ප්‍රදාය. අපි රෙගේ සම්ප්‍රදායට බිහිවුණ ගීතවලට සම්මාන දුන්නා.එතකොට 'රෙගේ’ කියන්නේ මොකක් ද? ජැමෙයිකන්. ඒකනේ සංගීතය විශ්ව භාෂාවක් කියන්නේ. දැන් ඔය කියන හින්දුස්ථානි රාගධාරි සංගීතයෙන් බිහිවන ගීතවලට ඒ අය බේස් ගිටාරය ගහන්නේ නැතිද? ඩ්‍රම්සෙට් එක ගහන්නේ නැතිද? ඔය ඇවිල්ලා බොහොම පටු දෘෂ්ටියක්.ආචාර්ය ප්‍රේමසිරි කේමදාස වගේ අයත් බටහිර සංගීතයෙන් නොමඳ අභාසයක් ලැබුවා.එතකොට සිම්ෆනි,ඔපෙරා, කැන්ටාටා කියන්නෙත් අපේ අනන්‍යතාවයද?
සම්මාන උළෙලකට වඩා රාත්‍රී සමාජ ශාලාවක මුහුණුවර තමයි එහි තිබුණේ කියා සෝමරත්න දිසානායක මහතා චෝදනාවක් එල්ල කළා. විශේෂයෙන්ම තරුණියන්ගේ ඇඳුම් ආයිත්තම් ගැන?
එතකොට ෆිල්ම් ෆෙයාර් වගේ සම්මාන උළෙලකට ඒ වගේ පිරිස් යන්නේ කුර්තා ඇඳගෙනද? ඔයා නිකං 60,70 ගණන්වල 'සරසවිය’ සම්මාන උළේලේ පින්තූර ටිකක් බලන්න. ගාමිණී ෆොන්සේකලා ජාතික ඇඳුම ඇඳගෙන ආවේ නෑනේ.ටයිපටි නෙවෙයි බෝ එක දාගෙනයි ඉන්නේ.එතකොට සම්මාන උළෙලවලට කොටට අඳගෙන ආපු අය නැතිද? ඒ ග්ලැමර් එක ආයිත් කළාම ජනතා ආකර්ෂණය නැතිවෙලා යනවනේ. එතකොට දේශීය අනන්‍යතාවයක් තිබුණේ නෑ කියන්න පුළුවන්නේ ඒ'සරසවිය’ සම්මාන උළෙලවලත්. ඔය වගේ කතා කියලා තමයි දේශීය සිනමාව කඩා වැට්ටුවේ. ඒවට ඇහුම්කන් දුන්නොත් මේවත් කඩා වැටෙයි.
ඔය සම්මාන උළෙලට පැමිණි අපේ ප්‍රවීණ ශිල්පීන් කිසියම් තාවකාලික උගුලකට හසුවී ඇති බවටත් දිසානායක මහතා චෝදනා නඟනවා?
එකක් කියන්න ඕනෑ. අපි'දෙරණ’ මියුසික් වීඩියෝ සම්මාන උළෙල මේ පවත්වන හතරවැනි වතාව.මේ ගොල්ලන්ගේ අවබෝධය බලන්න. දැන්ද ඇහැරුණේ. වටපිට ගැන,රටේ තොටේ වෙන්නේ මොනවද කියලාවත් දැනගෙන හිටියේ නැද්ද මෙච්චරකල්. එක්තරා සම්මාන උළෙලක දී අපි ගාව රෙකෝඩිස් තියෙනවා, තිස්ස අබේසේකරයන් ඉතාම ඉහළින් භාතිය, සංතුෂ්ලාව අගය කළා. ඔය කට්ටිය ඔක්කෝම පළවෙනි සම්මාන උළෙලෙදී එය අගය කළා.දැන් මේ අවුරුදු හතරකට පස්සෙයි වැරැදි කියන්නේ.ජනපි‍්‍රය වේගෙන එන දේට පහර ගහනවා.ඒක තමයි අපේ රටේ හැටි.මේ ගොල්ල බලාපොරොත්තු වෙන්නේ රාජ්‍ය මැදිහත්වීම් තුළින් යම් යම් නීති රීති පනවලා මේවට තියෙන ජනතා ආකර්ෂණය නැති කරන්න. ඒක තමා සිනමාවටත් වුණේ.එහෙම වුණාම ඒ අයට සනීපයි.එතකොට ඒ අයගේ දේවල් කරගෙන ගියෑකිනේ.
ඔබ කියන්නේ සෝමරත්න දිසානායක මහතා උත්සාහ කරන්නෙත් ඔය කියන කාරනාව ඉෂ්ටසිද්ධ කර ගන්නද?

ඒක මම දන්නේ නැහැ.මට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි එවැනි අතපෙවීම් තුළින් වෙන්නේ ඒක තමයි.දැන් යන්නේ වෙනම ගීත රැල්ලක්නේග.අපි සම්මාන දුන්නේ ඒ මියුසික් වීඩියෝස්වලට.මේවායේ ජනපි‍්‍රය ලක්‍ෂණ ඉවත් කළාම ඒ කර්මාන්තය කඩා වැටෙනවා. අද ඩවුන්ලෝඩ්ස්වලින් මිලියන දහය,දොළහ මුදල් උපයන ගායකයෝ,ගායිකාවෝ ඉන්නවා. BMW කාර්වල ඔවුන් යන්නේ.ඉතින් ඒක හොඳයිනේ.එහෙමනේ වෙන්න ඕනෑ. නැතිව ඒකටත් කොක්ක ගහලා වැඩක් නෑනේ.
මත විමසුම – අසංක දේවමිත්‍ර පෙරේරා

සෝමරත්න දිසානායක මහතාගේ මතය 
http://doopathainfo.blogspot.com/2013/04/blog-post_23.html

Saturday, April 20, 2013

Derana Music Video Awards 2013 Highlights / මතවාද සහ විහිලු





දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙල 2013 පසුගියදා නිමවුනා  එහෙත් එහි උණුසුම නම් නැතුව ගිහිල්ල නැ .එකට හේතුව මුදල් ගෙවා ගීත මෙන්ම මියුසික් වීඩියෝ ප්‍රචාරය ගැන කතාබහට ලක්වීම හා යම් අයගේ මත ගැටුම් දිගින් දිගට ඇදී යාමයි දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලේ එම මත ගැටුම් අවස්ථා සහ විනෝදාත්මක අවස්ථාවල එකතුවක් මෙම වීඩියෝ පටයේ ඔබට නැරබිය හැක .එමෙන්ම මුදල් ගෙවා ප්‍රචාරය කරන ක්‍රමය ගැන සහ මෙහි ආරම්බකයන් කවුද ,සිදුවන්නේ කෙසේද යන්න වැඩි විස්තර ඉදිරි ලිපියකින් අනාවරණය කරනු ඇත . මෙම වීඩියෝව සම්මාන පිලිබදව හෝ වෙනත් කරුණු අලලා සැකසුනු වීඩියෝවක් නොවන අතර ඔබට මුළු සම්මාන උළෙල නැරබීමට අවශ්‍යනම් දෙරණ යූ ටියුබ් පිටුවට ගොස් නැරබිය හැක .

www.doopatha.com

මම ගීත ලිවීම අත් ඇරලා තියෙන්නෙ - සුනිල් අරියරත්න


මහඇදුරු සුනිල් අරියරත්නයන් ලංකික ගීතයේ මෙන්ම චිත්‍රපටයේ ද  තමන්ගේ අනන්‍ය බව ප්‍රකට කල නිර්මාණ කරුවෙක් වන අතර මෑත කාලීනව ඔහු අතින් නිමවූ "කුස පබා" චිත්‍රපටිය මෙරට තුළ අදායම් වර්තා තැබීමට පවා සමත් වුනි.
  ලාංකීය චිත්‍රපට ක්‍ෂත්‍රය තුළ ඇති  නැගිටීම් සහ බිද වැටීම් මෙන්ම නව ප්‍රවණතා පිලිබදවත්, සුනිල් ආරියරත්න ගීතයෙන් කල සමාජ මෙහෙවර ගිලිහි යාම පිලිබදවත් ලංකා ගාර්ඩියන්   සමග  සංවාදයක් සිදු කල අතර සුනිල් ආරියරත්න  මෙසේ සිය අදහස් පෙලගස් වන ලදී.ජේෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමන්  ලෙස තම සේවය විද්‍යාර්ථයින්ට ලබ දෙමින් සිටි.
ලාංකීය සිනමාවේ ආරම්භය සහ  මේතාක් ගමන්මග කොහොමද  හදුනා ගන්නේ?
මම සිනමාව දෙස හැමදාමත් බලන්නේ සුබවාදී ලෙස, ගෙවුණු හැට වසර තුළ බොහෝ ජයග්‍රහණ අත්පත්කරගෙන තිබෙනව.  ආරම්බය හදුනාගැනීමට  ලැබෙන්නේ දකුණු ඉන්දීය සිනමාවේ කොපියක් ලෙස ඒ කියන්නේ භාෂාවෙන් පමණක් සිංහල වි රඟපැමෙන්, ඡායාරුපකරණයෙන්, ගීතයෙන් මේ හැමදේකින්ම දකුණු ඉන්දීය වෙලා තිබුන සිනමාව මේ වන විට පියවරෙන් පියවර විශාල ගමනක් පැමිණ තිබෙනව. මුලින්ම අපි ලබාගනු ලැබූ ජයග්‍රහණය වුනේ දකුණු ඉන්දීය ස්වරුපයෙන් මිදීමට ගනුලැබූ උත්සාහය. ඒ කියන්නේ අපේ දේශීය අනන්‍යතා ලක්ෂණ සිනමාවට එක් කරගැනීම තමයි අපි මුලින්ම කලේ. ඒ වගේම චිත්‍රපටියේ අන්තර්ගතයෙන් සේම චිත්‍රපටියේ තාක්ෂණික පැත්තෙන්ද වෙනස් වීම මෙත් සමග සිදුවුණා, වෙස්ගැන්වවිම් ක්‍රම ඡායාරුපකරණයෙන්   සංගීතයෙන් රගපැමෙන් මේ සියල්ල  වෙනස් වීමට උණා. මුල් කාලයේ සිරිසේන විමල වීර මේ සදහා පුරෝගාමී කාර්යභාරයක් ඉටුකලා. ඉන්පසු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් "රේකාව"  චිත්‍රපටිය සමගින් යෝද පියවරක් ඉදිරියට තබමින් සිනමාව දේශීය කරගනු ලැබුවා පමණක් නෙවෙයි  ඔහු තවත් ඉදිරියට යමින් අපේ සිනමාවට මුල් වරට විදේශිකයන්ගේ අවදානය යොමුකරන ස්ථානයට ගෙන එනු ලැබුවේ 1956   "රේකාව" චිත්‍රපටියත්  සමග. එතනින් පසු මේදක්ව අපි ජාතියන්තර ජයග්‍රහණ රාශියක් හිමිකරගෙන තිබෙනව. ඒ වගේම  ලෙස්ටර් ජේම්ස් පිරිස්ගෙන් පසු තරුණ පරම්පරාවේ විශාල පිරිසක් ජාතියන්තරයට ගොස්තිබෙනව. ඒක නිසා මගේ නිගමනය වෙන්නේ අපි  සිනමාව තුල බොහෝ ජයග්‍රහණ අත්පත් කරගනුලැබූ පිරිසක් බවයි.   
අපි අපේ මතෘකවට ප්‍රවිෂ්ට වුනොත් වර්තමානය වෙනකට මොනවද අපිට හදුනා ගැනීමට ලැබෙන නව මතවාදයන් නිර්මාණකරුවන් තුළ
 මුලින්ම මිට දශක කිහිපයකට ඉහත තත්වය පිලිබදවත් කතාකළ යුතුයි. ලෝකයේ ඕනෑම කලාවක් තුල දක්නට ලැබෙන දේ තමයි ජනප්‍රියත්වයට පත්විම, පසුබෑම හා නැවත ශක්තිමත් විම කියන කරනා. මෙක ලංකාවේ සිනමාව තුලත් අපිට දක්නට ලැබෙනව. ඒ වගේ ලංකාවේ සිනමාව තුලත් තිබුණ සිනමාව පසුබැහැපු කාලපරිච්චේදයක්. ඒකාකාරී සිනමාවක්,  වාණිජ නමින් හැදුනු වාණිජ වටිනාකමකුත් නැති, කලාත්මක වටිනාකමකුත් නැති, තාක්ෂණික වශයෙන් පල්ලම් බැහැපු ඉතාම දුර්වල සිනමාවක් කාලයක් තිබුණා. එත් එක්කම එක යුගයක කලාත්මක චිත්‍රපට හැදුනෙත් නැහැ, වාණිජ චිත්‍රපට හැදුනෙත් නැහැ චිත්‍රපටි නැරබීමට ජනතාව සිනමා ශාලා වලට ආවෙත් නැති යුගයක් තිබුන. තවදුරටත් බැලුවොත් රුපවාහිනියේ පැමිණීම, 71සහ 88 තුරුණ නැගිටීම්, එල්. ට් .ට්.ඊ  යුද්ධය ආරම්බ විම සහ ඒ එක්කම රාත්‍රී දර්ශන නොපෙන්වීම වගේම විශාල සිනමාශාලා ප්‍රමාණයක් විනාශ වීම සහ වැසි යාම  සිදුවුණ. මේ ආදී විශාල අර්බුදයකට මුහුණ දීල සිනමාව බින්දුවටම වැටුණු කාලයක් තිබුණ. ඒ අවදිය පසුකරලා තමයි අද දවසට ඇවිත් තිබෙන්නේ.
අද දවස ගැන බැලුවොත් මං හිතනව සිනමාව නැවත සුභවාදී ගමනක් ආරම්බ කර තිබෙනවයි කියල. මේ සුභවාදී බව දෙවිදියකින් හදුනාගැනීමට පුළුවන්. එකක් තමයි අපේ චිත්‍රපට ජාතියන්තර ජයග්‍රහණ හිමිකරගෙන තිබීම. මම විශ්වාස කරන විදිහට ලෙස්ට ජේම්ස් පිරිස්ගෙන් පසුව අපේ රටේ බිහිවුන විශිෂ්ටම සිනමාකරුවන් කිහිපදෙනා අතරත් ප්‍රමුකස්ථානය ගන්නව ප්‍රසන්න විතානගේ ඒ වගේම නව පරපුරේ සිනමාකරුවන් වන අශෝක හඳගම, විමුක්ති ජයසුන්දර ඇතුළු තරුණ සිනමාකරුවන් සිනමාව ජාතියන්තරයට ගෙනගොස් තිබෙනව. මේ නිසා අද ජාතියන්තර ජග්‍රහණ වල සතුට භුක්ති විදිමින් ඉන්නව. අනෙක් පැත්තෙන් සිනමා ශාලාවලට වාණිජමය අතින් අතිශය දැවැන්ත ජයග්‍රහණ හිමිකර ගැනීමට හැකි චිත්‍රපට පැමිණෙමින් තිබෙනව. මේ ප්‍රවණතා දෙක නිසා සිනමාව අද යහපත් අස්ථානයක(ස්ථානයක) තිබෙනවයි කියල කියන්න පුළුවන්.

ඔබ මගෙන් නැවත ප්‍රශ්නයක් අහන්න පුළුවන් මේ වාණිජ සාර්ථකත්වයක් ලබන  සිනමාකෘති  කියල කියන්නේ ඉතිහාසය හාරඅවුස්සන සිනමාවද  කියල, ඔව් අපේ සිනමාවේ එක එක කාල වලදී විවිධ ප්‍රවණතා ඇතිවෙනව. සිනමාව බංකොලොත් වුන කාලේදී ඇති වු ප්‍රවනතාව තමයි කාම සිනමාව.    කාම සිනමාව අපේ සිනමාවේ අධ්‍යාත්මයත්, ජනතා අධ්‍යාත්මයත්  විනාශ කරපු, මොනම අංශයකින්වත් හොදයි කියල කියන්න බැරි ප්‍රවනතාවක්. ඒ චිත්‍රපටි දිවුව නමුත් ඒ දුවපු චිත්‍රපටි තුනක් හතරකින් නතර වුණා. අද වන විට සිංහල කාම චිත්‍රපටියක් නෙවෙයි විදේශිය කාම චිත්‍රපටියක්වත් වාණිජමය සාර්ථකත්වයට පත් නොවෙන තැනට පත් වි තිබෙනව. මේ වාණිජමය සාර්ථකත්වයක් ලබන්නේ ඓතිහාසික සිනමා රැල්ල. මේතාක් නිෂ්පාදනය වූ  ඓතිහාසික සිනමකෘති බලනකොට මේ එකම චිත්‍රපටියක්වත් මිනිස් අධ්‍යාත්මය, ජනතා අධ්‍යාත්මය විනාශ කරන චිත්‍රපටි නෙවෙයි.
 ඒ වගේම ඉතිහාසය විකුර්ති කල සිනමාකෘතිත්  නෙවෙයි. ඒ වගේම මොනයම් ආකාරයක හෝ ප්‍රමිතියක් පවත්වාගෙන ගිය චිත්‍රපටි. මේවා සර්ව සම්පුර්ණ කාලාත්මක නිර්මාණ කියල මම කියන්නැහැ නමුත්  ඊට කලින් සිනමාවේ ඇති වුනු රැලිත් සමග බලන විට මේ රැල්ලේ චිත්‍රපටි වල යම් ප්‍රමිතියක් අපි දැක්කා.ඒක නිසා මේ චිත්‍රපටි තුලින් සිනමාවට හෝ ජනතා අධ්‍යාත්මයට හානියක් වෙනවයි කියල මං හිතන්නැහැ. සිනමාවේ පැවැත්ම සදහා වාණිජ සිනමාවක් අවශ්‍යයි ඉතින් ඒ වාණිජ සිනමාව අද හිමිකර ගෙන තිබෙන්නේ ඉතිහාස රැල්ල ඒක හැමදාම තියන එකක් නැහැ. කොහොම නමුත් වැසීගිය සිනමාශාලා නැවත ඇරෙන, සිනමාශාලා වල මකුළුදැල් කැඩෙන, සිනමාශාලා හිමියන් සහ අදාල අනෙක් පාර්ශව සිනමාව ගැන උනන්දුවක් දක්වන  තත්වයකට අද සිනමාව පැමිණ තිබෙනව. අනෙක් පැත්තෙන්  කලාත්මක සිනමාව ජයග්‍රහණ අත්පත් කර ගනිමින් ඉන්නව. මේ නිසා වත්මන් සිනමාව සුභවාදී තත්වයක තිබෙනවයි කියල මම විශ්වාස කරන්නේ.
ඇත්තටම  ඔය ස්ථානයට තමයි මට  එන්නත් අවශ්‍ය මොකද  වර්ත්මනයේ නිර්මාණය වන බොහෝ චිත්‍රපට තුලින් සිදුවන්නේ අධිපති මතවාදය පෝෂණය කිරීමක් කියන එක මතු වෙනව. ඒ කියන්නේ සිංහල බෞද්ධ මතය ,අනෙක් සුළුජතින්මත බලෙන් තැන්පත් කරනව කියන එක  මේ පිළිබද මොකක්ද ඔබතුමාගේ අදහස?
මම ඒක විශ්වාස කරන්නැහැ මොකද අපේරටේ  බෞද්ධ චිත්‍රපටි වලට තිබෙන ඇල්ම ගත්තොත් ඒක ඉතාම ස්භාවික දෙයක්. ඒක අධිපති මතවාදය කියල කියන්න බැහැ මොකද අපේ රටේ බහුතරයක් ඉන්නේ බෞද්ධ ජනතාව ඒ නිසාම බෞද්ධ චිත්‍රපටියක් නැරබීමට ඔවුන් පැමිණීම ස්වාභාවිකයි.  තවත් දෙයක් තමයි බෞද්ධ වූ පමණින් චිත්‍රපට සාර්ථක වෙන්නේත්  නැහැ,මේකට  අපේ සිනමා ඉතිහාසයෙන්ම උදාහරණ තියෙනව. " වෙසතුරු සිරිත" වගේ චිත්‍රපටියක්, මේක තමයි සිනමාවට නැගුනු පළමුවෙනි ජාතක කථාව, ඒ වගේම වෙස්සන්තර ජාතක කථාව තමයි අපේ පන්සීය පනස්  ජාතක පොතේ තියන ජනප්‍රියම ජාතක කථාව නමුත් ඒ චිත්‍රපටිය වාණිජමය වශයෙන්  සාර්ථක  වුනේ නැහැ. ඒ වගේම අපේ බෞද්ධ සාහිතයේ තියෙන අනුවෙදනිය කථාවක් තමයි පටචාර කථාව සහ කුණ්ඩලකේශී  කථාව  නමුත් මේ එකම චිත්‍රපටියක්වත් වාණිජ වශයෙන් සාර්ථක වුයේ නැහැ.  එනිසා බෞද්ධ වූ පමණින් චිත්‍රපටියක් සාර්ථක වෙනවයි කියන එක පිළිගන්න බැහැ. ඒ වගේම ඉතිහාසය මුල්කරගත් පමණින් චිත්‍රපටි සාර්ථක වෙනවයි කියන එකත් පිළිගන්න බැහැ. මේ සදහා උදාහරණ විශාල ප්‍රමාණයක් තිබෙනව. "වීර පුරන් අප්පු", "වීර මද්දුම බණ්ඩාර"  වගේ චිත්‍රපටි සම්පුර්ණ අසාර්ථක වුන චිත්‍රපටි. ඒක නිසා ඉතිහාසය පෙන්නු පමණින්වත් බෞද්ධ වූ පමණින්වත්  චිත්‍රපටි සාර්ථක වෙන්නැහැ. බෞද්ධ බහුතරය හිටියත් සිංහල බහුතරය හිටියත් චිත්‍රපටියක් නරබන්නේ ඒ චිත්‍රපටියේ නැරබීමට තරම් වන දෙයක් තිබෙනවානම් පමණයි. ඉතින් එම නිසා අධිපති මතය මෙතුලින් ඉස්මතු වෙනවයි කියන එක පිළිගත නොහැකි දෙයක්.
යුද්ධයේ නිමාවත් සමග අපට දකින්න ලැබෙන දේ තමයි නිර්මාණ කරුවන් මතවාදීව ගත්තොත් බෙලහීන වූ බවක්, යුද්ධය සහ එහි නිමාව ඇතැම් නිර්මාණ කරුවන්ගේ නිර්මාණ වලට ප්‍රබල බලපෑමක් දකින්න ලැබෙනව තව දුරටත් කියනවනම් අශෝක හඳගම වගේ නිර්මාණ කරුවන් තුල ඒ බව පැහැදිලිව හදුනාගැනීමට ලැබෙනව. මේ වෙනස්විම  පිළිබදඔබ දකින්නේ කොහොමද
 ඇත්තටම ඕනෑම සිනමාධාරාවක් බැලුවොත් විවිධ චිත්‍රපටිකරුවන් නිර්මාණය කරන්නේ විවිධ වූ චිත්‍රපට. ඉන්දියාව ගත්තොත් ඉන්දියාවේ ඉතාම විශිෂ්ඨ ගනයේ චිත්‍රපටි හැදෙන අතරේ  ඉතාම වාණිජවාදි චිත්‍රපටි හැදෙනව. ලංකාවෙත් විවිධ චිත්‍රපටි කරුවන් ඇල්ම දක්වන්නේ විවිධ විෂයන්වලට. ඒක අපට වලක් වන්න බැහැ. අශෝක හඳගම සිනමා ශෛලය බැලුවොත් ඔහු ප්‍රියකරන අන්තර්ගතය අනෙක් අයට වඩා වෙනස්,
සමාවෙන්න , මං මතුකලේ මෙහෙම දෙයක් නිර්මාණකරුවන් තමන් හිටිය මතවාදය යුද්ධය නිමාවත් සමග වෙනස් වෙනව මෙන්න මේ කාරනේ කොහොමද ඔබතුමා දකින්නේ?
"ඉනි අවන් " චිත්‍රපටිය ගැන ඔබ ඔය අහන්නේ, ඒ චිත්‍රපටිය සාකච්චාවට පාත්‍ර වෙලා තිබෙනව මේක රාජ්‍ය මතවාදයට උඩගෙඩි දීම සදහා කරපු නිර්මාණයක්ද එහෙම නැත්නම් සැබෑ කරුණුද මේකේ කථාකරන්නේ කියන එක ගැන සාකච්චාවක් තියෙනව. නමුත් මම විශ්වාස කරන්නැහැ රාජ්‍ය මතවාදයට උඩගෙඩිදිම සදහා "ඉනි අවන් "  අශෝක හඳගම හැදුවයි කියන එක.  ඊට වඩා යථාර්තය විනිවිධ දකින නිර්මාණයක් හැටියට තමයි මම ඒ චිත්‍රපටිය දකින්නේ. ඕනෑම කෙනෙකුට චිත්‍රපටියක් පිළිබද අර්ථකතනයක් දෙන්න පුළුවන්, ඒ වගේම සමහර විට චිත්‍රපටියට සම්බන්ද වෙන පුද්ගලයෝ, මුදල් ආයෝජකයෝ ඒ අය දිහා බලලත් චිත්‍රපටියට විවිධ අර්ථකතන දෙන්න පුළුවන්. ඉතින් එනිසා ඒ චිත්‍රපටිය වෙනුවෙන් ඒ නගන චෝදනාව මම පිළිගන්නේ නැහැ.
 මහාචාර්යතුමනි ,ඉදිරියට සිනමාවේ ව්‍යාකරණය මොනවගේ හැඩයක්ද ගත යුත්තේ ඒ කියන්නේ නිර්මාණ කරුවන් සමාජයේ තිබෙන ප්‍රශ්න සිනමාව තුලින් කොතෙක් දුරට  කථාකරනවද ?
අද වන විට කලාත්මක සිනමාවට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අඩුවෙමින් පවතිනව මේක එක්තරා විදිහකට කණගාටු දායක තත්වයක්. අපි 70 දශකයේ චිත්‍රපටිත් සමග බලන විට ධර්මසිරි බණ්ඩාරනායක,ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර,ලෙස්ට ජේම්ස් පිරිස්  වැනි අයගේ චිත්‍රපට වාණිජමය වශයන් යම් සාර්ථකත්වයක් තිබෙනව, කොහොමනමුත් ඒ චිත්‍රපට පාඩු වුනේ නැහැ.එක පැත්තකින් ඒවා කලාත්මකව පවා යම් සාර්ථකත්වයක් දක්නට ලැබෙනව. අද වන විට මෙන්න මේ ප්‍රවනතාව අඩු වෙමින් පවතිනව. ඉතින් මම හිතනව සිනමාවට වෙළද වටිනාකමක් ඇතිවෙන්න පටන් ගත්තේ දැනට වසර කිහිපයකට පෙර ඒ නිසා ඉදිරියට මේ තත්වය වෙනස් වෙන්න පුළුවන්. අපි බැලුවොත් අද වන විට වෙළද සිනමාව තමයි ඔලුව උස්සල තියෙන්නේ කලාත්මක සිනමාව එහෙම වෙල නැහැ. ඒ නිසා මම හිතනව කාලයාගේ ඇවැමෙන් වෙළද සිනමාවේ යම් පිරිසක් කලාත්මක සිනමාව වටාත් එක් වේවි කියල.  ඒකනිසා කලාත්මක සිනමාවටත් ඉදිරියේදි  යම් වෙළද වටිනාකමක් ලැබේවි.
 මහාචාර්යතුමා අතින් ලියවුන ඉතා ප්‍රබල ගීත තිබෙනවා සැබෑ නිදහස,විමුක්තිය පිළිබද. "යදමින්  බැද" වගේ ගීත නමුත් මේ වන විට ඔයවැනි ගීත ඔබතුමන් අතින් ලියවෙන් නැහැ අනික ඒ මතවාදයන් ඔබ සිනමාව තුල සංවාදයට ලක් කිරීමක් දැක ගන්නට ලබිමකුත් නැහැ මොකද  ඔබ තුමාට ලොකු අවකාශයක් තිබෙනව සමාජය තුල නමුත් අපි දකින්නේ මහාචාර්යතුමාගේ නිහඩ බවක් ඇයි එහෙම වෙලා තිබෙන්නේ.
මගේ අදහස් නිවැරදිවම කියා ගන්න පුළුවන් මාධ්‍යක් තමයි ගීතය.ගීතයක් මම රචනා කිරීමෙන් පසු තව දෙදෙනෙක් හෝ තුන්දෙනෙකුගෙන් ඒ නිර්මාණය මට කරන්න පුළුවන්. නමුත් සිනමාවේදී මට ඒ කාර්ය කරන්න බැහැ මොකද අද වෙනකට ලක්‍ෂ 300ක් වත් නැතිව චිත්‍රපටියක් නිර්මාණය  කරන්න බැහැ. ගීතය මගේ අදහස් කියන එක මාධ්‍යක් නමුත් මට සිනමාව ඒ සදහා යොදාගැනිමට බැහැ මොකද පෙර කිව වගේ සිනමාව සදහා තිබෙන මුදල් ආයෝජකයෝ, මුදල් සමග කරන මේ දැවැන්ත කාර්ය තුල මට අර තිබෙන නිදහස නැහැ. ඒ නිසා මම ගීතයෙන් කරන කාර්ය සිනමාවෙන් කරන්න බැහැ.මේ  නිසාම මගේ සිනමාවේ කොතනකවත් ගීත මාධයේ තිබෙන ලකුණු දකින්න නැහැ.
 නමුත්  මේ මොහොත වන විටත්  එවැනි නැබුරුවක් ඔය මාධ්‍ය දෙක තුලම දකින්නට ලැබෙන් නැහැනේ
ඔව් මම ඉස්සල්ලත් කිවේ ඒකයි අදටත් ඒක කරන්න බැහැනේ. අද වාණිජ සිනමාව ඔලුව උස්සල තියෙන්නේ, මම මේතාක් නොකරපු දෙයක් මට කොහොමත් කරන්න බැහැ මොකද මේතාක් කරපු සිනමකරුවොත් අද අභියෝගාත්මක තත්වයට පත් වෙල ඉන්නේ. ඒකාලේ වසන්ත ඔබේසේකරගේ, පතිරාජගේ චිත්‍රපට වලට වෙළද පොළක් තිබුණ අද ඒ වෙළදපොළ නැහැ එත් එක්කම  අශෝක හඳගම,ප්‍රසන්න විතානගේ   චිත්‍රපටිත්  මේකට උදාහරණ. මෙවැනි අභියෝගාත්මක මොහොතක මට කොහොමත් ඒ දෙය කරන්න බැහැ. ඒ වගේම චිත්‍රපට නිර්මාණකරුවෝ හදා ගත්ත ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව. මට සිනමාවේ එහෙම ප්‍රේක්ෂක පිරිසක් ඇත්තෙම නැහැ. ඒනිසා අද වෙනකට ඒ තත්වයට මට මුහුණ දෙන්නම බැහැ, ඒ තත්වයට මුහුණ දෙන්න නම් මට කලින්  ඒ ජයග්‍රහණ අත්පත් කරගත යුතු වෙන්නේ ප්‍රසන්න,විමුක්ති, හඳගම වගේ අය. ඊට පස්සේ තමයි මං වගේ කෙනෙක්ට  එලබුමක් තිබෙන්නේ එතනට. මගේ මීලග සිනමා නිර්මාණයවත් මම හිතන් නැහැ එලබුමක් තියෙයි කියල එතනට.
ඒ විතරක් නෙවේ අද ගිතයේදී පවා මේ තත්වයෙන් මම ඈත් වෙලා ඉන්නේ මම ගීත ලිවිමම  අත්හැර දාලා තියෙන්නේ, මොකද එදා ලිව ගීතය අද ලියල ගායනා කරවන්න ගායකයෙක් හෝ ගිකාවක් නැහැ. මොකද එහෙම නැත්තේ ගායකයාටත්  ගිකාවටත්   ඒ  ගීතය ගෙනියන්න තැනක් නැහැ.ඒ කියන්නේ ගුවන් විදුලියේ මේ ගීතය ප්‍රචාරය වෙන්නේ නැහැ, ඔවුන් ඒක පටිගත කරන් නැහැ. ඒ වගේම මේ ගීතය සංගත තැටියකට නගන්න නිෂ්පාදක වරයෙක් නැහැ.
උදාහරණයකට සිංලංකා වගේ සමාගමක් ඔවුන් පෙනී හිටියේ ප්‍රබුද්ද ගායකයන් වෙනුවෙන් අද යන එනමන් නැති වෙල තිබෙනව. ඒ නිසාම ගීත රචනා කලාව පවා නැවතිල තිබෙන්නේ, ඒ වගේම තවත් දෙයක් මේක අලුත් පරපුරකට බර දිය යුතුයි.

සමාවෙන්න මහාචාර්යතුමා මෙතැනදී මතුවෙන කාරණය තමයි මහාචාර්යතුමා වගේ ඉන්න අතලොස්ස ඉදිරියට නොඑනවයි කියන කාරණය
නැහැ මම ඒක විශ්වාස කරන්නැහැ මොකද ඉස්සල්ල පරම්පරවෙන් තමයි අපි මේ baton එක ගත්තේ අපි ඒක තව කෙනෙකුට බාරදෙන්න ඕන, එහෙම නැතුව සදාකාලිකව අපි මේදය කල යුතුය කියල එකක් නැහැ. අනික එදා තාරුණ්‍ය හා අපිට දැනුනු ප්‍රශ්න දැනෙන්නේ අද තරුණයන්ට ඒ වගේම අපිට වඩා සංවේදී අපිට වඩා දැනෙන සුළු තත්වයක ඉන්නේ ඒ අය ඒ නිස මේක ඊලග පරම් පරාවක් බාරගත යුතුයි.
 අවසාන වශයෙන් මොනවද අපිට සිනමාවේ තිබෙන අනාගත අභියෝග විදිහට ඔබ දකින්නේ
 අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි තාක්ෂණය, අපි දැන් නිසැක වශයෙන්ම මේ දළසේයා පටයෙන් ඉවත් වෙල වහාම  ඩිජිටල් තාක්ෂණයට යන්න ඕන, මගෙත් ඉලග චිත්‍රපටිය එන්නේ ඩිජිටල් චිත්‍රපටියක් විදිහට. ඩිජිටල් චිත්‍රපටි කරන්න ලංකාවේ ඩිජිටල් තාක්ෂණය තිබෙනව නැත්තේ  ඩිජිටල්  ප්‍රක්ශේපනය  පිළිබද ප්‍රශ්නය, මෙය වහාම විසදා ගතයුතු ප්‍රශ්නයක්. ලංකාවේ සිනමාශාලා වල ඩිජිටල් ප්‍රක්ෂේපන අරම්බ වුනොත් අපේ  සිනමාවේ විශාල ප්‍රබෝදයක් ඇතිවෙනව මොකද සිනමාව සදහා ආයෝජනය කරන මේ දැවැන්ත මුදල අඩුවෙල අපිට යම් ස්ථාවරයක් ගොඩනගා ගන්න පුළුවන් අඩු වියදමකින් චිත්‍රපටියක් කරන්න. ඒ වගේම මිළ අඩුවෙන් ප්‍රදර්ශනය කරන්න, සහ ගුණාත්මක අතින් ඉහල නිර්මාණයක් කරන්න. ඒ නිසා මේ මොහොතේ තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි තාක්ෂණිකව තිබෙන අභියෝගය අපි මෙය ඉතා ඉක්මනින් ජය ගත යුතු වෙනව. මේ සදහා ඉදිරි වසරක් පමණ කාලය  තුල අපේ සිනමා ශාලා වලින් අඩකවත් ඩිජිටල් ප්‍රක්ෂේපන යන්ත්‍ර සවිකර ගත යුතු වෙනව. මොකද ලෝකයේ දළ සේයාපට නිෂ්පාදනය 75% කින් අඩුවෙල තිබෙන්නේ  ඒනිසා දළ සේයාපටය අපි වහාම විශ්‍රාම ගැන්විය යුතු වෙනව.