Sunday, April 28, 2013

මේ පොළෝ තලයේ වඩාත් භයානකම ස්ථානය හොන්ඩුරාස්හි සැන් පෙද්‍රෝ සුලා නගරය


මේ පොළෝ තලයේ වඩාත් භයානකම ස්ථානය හොන්ඩුරාස්හි සැන් පෙද්‍රෝ සුලා නගරය විය හැකිද? ලෝකයේ අපරාධ නගර පිළිබඳ ලැයිස්තුවේ මේවන විට ඉහළම ස්ථානය එයට හිමිවීම ඊට හේතුවයි. මැඩපැවැත්වීමට නොහැකි තරමට කෲර මිනිස් ඝාතනයන් සිදුවන මෙහි දිනකට අවම වශයෙන් ඝාතන 3 ක්වත් සිදුවන බව කියැවෙයි. කෝපි අපනයනික රටක් ලෙස සැලකෙන හොන්ඩුරාස්හි නීතිය වල්වැදී ඇති අතර දිළිදුකම පිම්මේ වර්ධනය වෙයි. තරුණ පරපුරේ බොහෝ දෑත්වල මත් ද්‍රව්‍ය හෝ අවි ආයුධය.
ගිනි අවි දරාගත් පුද්ගලයින් පැල්පත් නිවාස හා ගම් පාලනය කරන අතර පොලීසිය උදාසීනව සිටියි. අක්‍රමිකතා හා දූෂණ පිළිබඳ පොලීසියද නම්දරා සිටියි.2012 වසරේ සංඛ්‍යා දත්ත අනුව මෙක්සිකෝව කේන්ද්‍ර කරගත් " සාමය,සාධාරණත්වය හා මහජන ආරක්ෂාව පිළිබඳ පුරවැසි සභාව" විසින් එය වැඩිම අපරාධ සිදුවන නගරය ලෙස තහවුරු කර තිබේ. ගෙවුණු 2012 වසරේ නගරයේ මිනිස් ඝාතන 1,218 ක් සිදුව ඇත. එය ප්‍රතිශතයක් ලෙස දිනකට 3.3 කි. මෙක්සිකෝවේ අකපුල්කෝ නගරය, වෙනිසියුලාවේ කරකස්,මෙන්ම හොන්ඩුරාස්හිම  මධ්‍යම ඩිස්ට්‍රිටෝ නගර සමග අනුගත වෙමින් සැන් පෙද්‍රෝ සුලා පෙරමුණට පැමිණ තිබේ.
රොයිටර් පුවත් සේවය පෙන්වාදෙන අන්දමට දකුණු අමෙරිකාවට අයත් දුර්වලම ආර්ථිකය සහිත නගරය වන  සැන් පෙද්‍රෝ සුලා හි දිළිදු ජනගහණය 70% කි. බොහෝ අපරාධයන් දෑසින් දැක බලාගැනීමට සිදුවීමෙන් ජීවිතයට සමුදීම හෝ  එක්සත් ජනපදයට පලායාම හැර වෙනත් තෝරාගැනීමක් මොවුන්ට නැත. මෙහි අපරාධ සිදුවන්නේ ඉතා සංවිධානාත්මකවය. නිදසුනක් ලෙස මෙක්සිකානු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙම නගරයේ ඉඩම් මිලදීගෙන මිනී මැරුම් කොන්ත්‍රාත් සඳහා ආධුනිකයින් බඳවාගැනීම හා ඔවුන් ලවා ඝාතන සිදුකිරීම අඛණ්ඩව කරගෙන යයි. මොවුන්ට නීතිය දුර ඈත සිතිජයකි. රටේ ජනගහණයෙන් හරි අඩක් පමණ සිරකරුවන් වන අතර ඔවුන්ට චෝදනා ගොනු කිරීමක් හෝ නොකොට වසර ගණනාවක් තිස්සේ නඩු විභාග දිග ඇදෙයි. අනෙක් අතට සිරකරුවන් බොහෝ ප්‍රමාණයක් රිමාන්ඩ් බන්ධනාගාර තුළ පිහි ඇණුම්වලට, වෙඩිතැබීම්වලට ලක්ව මිය යයි. 2012 වසරේ පෙබරවාරියේදී සිරකුටියක් තුළ පිරිසක් පණ පිටින් දැවී හළුවීම බොහෝදෙනකුට අමතක නොවන සිදුවීමකි.
හොන්ඩුරාස් පුරාම තක්කඩි පොලීසිය නීතිය නිසිලෙස ක්‍රියාත්මක කිරීම, අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසු චෝදනා ගොනු කිරීම, අධිකරණයෙන් දඬුවම් ලබාදීම දක්වා නීතිමය කටයුතු සිදුකිරීම ආදිය නොසලකා හරියි. හොන්ඩුරාස් පොලීසිය විධිමත් කිරීම සඳහා එක්සත් ජනපදය ඩොලර් මිලියන ගණනින් ආධාර කරමින් සිටියදීද ඉකුත් තෙවසර තුළ ක්‍රියා මාර්ගයක් නොගත් පැමිණිලි සංඛ්‍යාව 150 කි. 
එරට "ජාතික ස්වාධීන විශ්වවිද්‍යාලය" හා පොලිස් වාර්තා පෙන්වාදෙන පරිදි පසුගිය වසර දෙකක කාලය තුළ නගරයේ සිවිල් වැසියන් 149 දෙනකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ කුප්‍රකට 18 වන වීදියේ 25 දෙනකුද ඇතුළත් වන පරිදිය. ඉතාමත් සුළු සිදුවීම් කීපයක් හැරුණු විට නීතිය ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ එරට පොලීසියට දීර්ඝ කාලයක් තිස්සේ චෝදනා එල්ලවෙමින් තිබේ. හිටපු පොලිස් ප්‍රධානියෙකුගේ පුතෙකු මෙන්ම ගුවන්විදුලි මාධ්‍යවේදියෙකුගේ ඝාතනයට පොලීසිය සෘජුවම සහය දැක්වූ බව අනාවරණය වී ඇත.මේවන විටත් රටේ ඉහළම පොලිස් ප්‍රධානියාටද අපරාධ සහායෙකු ලෙස චෝදනා එල්ල වී තිබී.
2002 වසරේ පොලීසියේ අභ්‍යන්තර වාර්තාවකින් අනාවරණය වූ පරිදි පොලිස් පරීක්ෂක ජුවාන් කාර්ලොස් බොනිල්ලා ඝාතන 3 ක් සිදුකර ඇති අතර තවත් ඝාතන 11 ට සහයවී ඇත. ඔහු මේවන විට සිරගත කොට සිටියි. එහෙත් අදාළ පොලිස් වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ සමාජ ශෝධනය සඳහා වන පොලීසියේ ප්‍රතිපත්තිය ශෝධනය විය යුතු බවයි.ඉදින් ලොව අංක එක‍ට පත් ඝාතන නගරයේ හෙට දවස කෙබඳු විය හැකිද?


මේවන විට ලොව ලේ වැකුණු අපරාධ නගර ලෙස ලැයිස්තුවේ පෙළගැස්ම පහත පරිදිය.

01.හොන්ඩුරාස්හි, සැන් පෙද්‍රෝ සුලා
02.මෙක්සිකෝවේ,අකපුල්කෝ
03.වෙනිසියුලාවේ, කරකස්
04.හොන්ඩුරාස්හි,ඩ්ස්ට්‍රිටෝ සෙන්ට්‍රල්
05.මෙක්සිකෝවේ, ටොරේන්
06.බ්‍රසීලයේ, මැසිලෝ
07.කොලොම්බියාවේ, කාලි
08.මෙක්සිකෝවේ, නුඑවෝ ලරෙදෝ
09.වෙනිසියුලාවේ, බක්වසිමෙටෝ
10.බ්‍රසීලයේ,ජොආඕ පෙසෝආ

Mail Online / derana

0 comments:

Post a Comment