Monday, May 13, 2013

ආයෙ සන්ධාන හදන්නේ නෑ ! - ෆොන්සේකා



මේ මොහොතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය වැනි දේශපාලන පක්ෂයක අවශ්‍යතාව සහ එම පක්ෂයේ අරමුණ මොකක්ද?

මේ රටේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙකේම 90% ක් දෙනා දේශපාලනය කරන්නෙ ඒ ගොල්ලන්ට හැදෙන්න. ජනතාවගෙ හදගැස්ම ගැන ඒ අය දන්නෙත් නෑ. ජනතාව ගැන ඒ අය හිතන්නෙත් නෑ. රට ගැන හිතන්නෙත් නෑ. ඒ ගොල්ලොත් එක්ක එකතු වෙලා දේශපාලනය කරන්න ගියොත් අපිටත් වෙන්නෙ ඒ අය කරන දේශපාලනය කරන්න තමයි.
මනාප ක‍්‍රමය නිසා රත්තරන් මාල කඩාගෙන දුවපු එවුනුයි, කුඩුකාරයොයි, හොර පොල් කඩන එවුනුයි පාර්ලිමේන්තුවේ ඇමැතිවරු. නාස්තිය දූෂණය නිසාම තමයි ඔය දරා ගන්න බැරි තරමේ බිල් එහෙමත් ජනතාවට දෙන්නෙ. මේ ක‍්‍රමය වෙනස් කරන්න නම් අලූත් බලවේගයක් ගොඩනඟන්න ඕනෙ. මේ දෙගොල්ලොත් එක්ක ගිහින් ඒක කරන්න බැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මානුෂික අයිතිවාසිකම් රැකෙන මාධ්‍ය නිදහස රැකෙන අලූත් බලවේගයක් ගොඩනඟන්න ඕනෙ. නැත්නම් මේ රට කවදාවත් දියුණු කරන්න බැහැ.
මේ දේවල් ඉටු කරන්න සැලැස්මක් අවශ්‍යයිනෙ. ඒ ගැන හිතල තියෙනවද?

ඒක තමයි මම පුළුල්ව කිව්වෙ. ක්ෂේත‍්‍ර ගොඩක් තියෙනවනෙ. එහෙම කියන්න ගියොත් දවසක්ම යයි.
මම ඔබෙන් අහන්නෙ එක එක ක්ෂේත‍්‍ර ගැන නෙමෙයි. ඕනම දේශපාලන පක්ෂයක් රට හමුවේ තියන මූලික වැඩපිළිවෙළක් තියෙනවනෙ. අන්න ඒ ගැන. උදාහරණයක් විදිහට විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවද? නැද්ද? මේ විදිහෙ මූලික වැඩපිළිවෙළක් තියෙනවද?

ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනෙ. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ඕනෙ. අපි මනාප ක‍්‍රමයට විරුද්ධයි. 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආපහු ගෙන්න ඕන කියල අපි කියනවා. ස්වාධීන කොමිසම් සභා තියෙන්න ඕනෙ. මේ ටික වුණොත් මම හිතන්නෙ මේ තියෙන තත්වය ගොඩක් වෙනස් වෙන්න පුළුවන්.
ඔබ ඔය කියන්නෙත් පොදුවේ විපක්ෂය කියන කතාව. ජනතාවට මේක අලූත් නැහැ. ඉතින් මේ වගේ තැනකින් දේශපාලන ගමන් මඟ ආරම්භ කරන්න ජනතා ආකර්ෂණයක් ලැබෙයි කියල විශ්වාසද?
ඒක තමයි අපි මේ දවස්වල ජනතාව දැනුවත් කරමින් යන්නෙ. ප‍්‍රතිපත්ති මාලාව ඉදිරියට දීල, ජනතාව දැනුවත් කරල, ජනතාවගෙ ආශිර්වාදය අපි ලබා ගන්නවා. එහෙම නැතිව වැඩපිළිවෙළ කියන්නෙ ශාඛා සමිති හදන එකයි, ගෙයින් ගෙට ගිහිල්ලා පත්තර බෙදන එකයි නෙවෙයි. අපි කියන්නෙ ජනතාව දැනුවත් කරන්න ඕනෙ. එතනදි ඔය හැමදේම පොඞ්ඩ පොඞ්ඩ කරන්න ඕනෙ.
පොදු විපක්ෂයක් විදිහට ඉදිරියෙ දි මේ එක`ගතාවට එන්න පුළුවන් වෙයිද?
දැන් ප‍්‍රධාන විපක්ෂය විදිහට ඉන්නෙ එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය කියන්නෙ නෑ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියල. අඩුම තරමේ ඔය අලූත් ව්‍යවස්ථාව ගැන තමන් දරන මතයවත් ප‍්‍රකාශ කරල නැහැ. එයාලගෙ විපක්ෂයෙ විරෝධය කියල එකක් තියෙනවා. ඒ වේදිකාව සාර්ථක වේදිකාවක් නෙවෙයි.
ජනතා විමුක්ති පෙරමුණෙයි, පෙරටුගාමී පක්ෂයෙයි මතය මම කොතනකදිවත් දැක්කෙ නැහැ. අපි අපේ ප‍්‍රතිපත්ති මාලාව හැම තැනකදීම කියල තියෙනවා. ඒ අනුව බලවේගයක් ගොඩනඟන්න කැමැති නම් අපිත් එක්ක එන්න තියෙන්නෙ. මොන තරම් නම් මේ රටේ සන්ධාන හැදුවද? අපිත් සන්ධානයක් හැදුවනෙ. වැඩක් නැහැනෙ. ඡන්දෙ ඉල්ලලා සුමාන දෙකක් යනකොට ඒ ගොල්ලො තනියම පෙළපාළි යනවා. අපි ඔහේ තනියම ඉන්නවා. ඒවා ආයෙ හදන්නෙ නැහැ.
ඔබ වාමාංශික දේශපාලනය අනුමත නොකරන්න හේතුව මොකක්ද?
වාමාංශික කොමියුනිස්ට් ක‍්‍රමය ගැනනෙ ඒ ගොල්ලො කතා කරන්නෙ. මට හිතෙන්නෙ ඒක අන්තවාදී කියල.
ඔබ වාමාංශික දේශපාලනය පිළිගන්නෙත් නැහැ. දැනට බලයේ පවතින දක්ෂිණාංෂික දේශපාලනය පිළිගන්නෙත් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය රැ`දී සිටින්නෙ කොතනද? මොකක්ද ප‍්‍රතිපත්තිය?
මොන අන්තවාදයක්වත් නැති මධ්‍යම ඉතාම සරල ප‍්‍රතිපත්ති මාලාවක් අපිට තියෙන්නෙ.
මොකක්ද ඒ ?
කාගෙවත් ඒවා නෙවෙයි. ජනතාවට ගැළපෙන නව ප‍්‍රතිපත්තියක් තමයි අපි අනුමත කරල තියෙන්නෙ.
මුලදි ඔබ සිටගත් දේශපාලනය සම්බන්ධයෙන් වන පසුතැවීමක්ද මේ ප‍්‍රකාශ වෙන්නෙ?
ඒ ගොල්ලො ඔක්කොම එකතු වුණේ මගෙ නායකත්වය යටතනෙ. මගේ නායකත්වය යටතේ වැඩ කළා නම් මගේ න්‍යාය පත‍්‍රයට ඒ ගොල්ලන්ට වැඩ කරන්න වෙනවා. එතන එක එක ප‍්‍රතිපත්ති තියෙන මිනිස්සු හිටියා. මට ඒ එක එක ඒවට යන්න බැහැ. පොදු ප‍්‍රතිපත්තියක් මම හැදුවා නම් ඒක යටතේ ඒ ගොල්ලන්ට වැඩ කරන්න වෙනවා.
කොහොමත් විවිධ ප‍්‍රතිපත්ති තියෙන අයමනෙ සන්ධාන හදන්නෙ. මෙතනදි ජනතා විමුක්ති පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂයෙ සන්ධානය පසුකාලීනව ඔබව නායකත්වය විදිහට පිළිගන්න සූදානම් වුණේ නැහැ නේද?

මාව පිළිගන්න සූදානම් වුණේ නැහැ නෙවෙයි. ඒ ප‍්‍රතිපත්ති මම පිළිගත්තෙ නැහැ. එක එක ප‍්‍රතිපත්තිනෙ තියෙන්නෙ. මම ඒවට එකඟ නැහැ. ප‍්‍රතිපත්ති න්‍යායන් විස්සක් විතර තියාගෙන කොහොමද එක ගමනක් යන්නෙ? ඒ වෙලාවෙ දෙගොල්ල එකතු වුණාට එක්සත් ජාතික පක්ෂයෙයි ජනතා විමුක්ති පෙරමුණෙයි දෙන්නෙක් එක ළග වාඩි වෙන්නවත් කැමැති නැහැ.
ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය කිව්වෙ විවෘත ආර්ථික වැඩපිළිවෙළක් ගැන. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒකට විරුද්ධයි. ඡන්දෙ ජයග‍්‍රහණය හිමි වුණා නම් මම කි‍්‍රයා කරනවා දෙගොල්ලොම එක තැනකට ගේන්න. මොකද එක්සත් ජාතික පක්ෂයෙ ප‍්‍රතිපත්තිවලට කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ එකග වෙන්නෙ නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්තිවලට එක්සත් ජාතික පක්ෂය එකග වෙන්නෙත් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මධ්‍යස්ථ තැනකින් යන්න වෙනවා.
අහසයි, පොළොවයි අතර හිරවුණා වගේ වැඩක් නේද වුණේ?

නෑ. මම එහෙම හිතන්නෙ නැහැ. මම දැන් නිදහස්නෙ. මට ඕන විදිහට මගේ දේශපාලන ගමන යනවා. ඒ ගොල්ලොත් ඉතින් දේශපාලනය කරනවා. පේනවනෙ ඉතින් ප‍්‍රතිඵලයක් නෑනෙ. මම කියන්නෙ විරුද්ධ පක්ෂ දේශපාලනයෙ ප‍්‍රතිඵලයක් නැහැ. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව ඒ ගොල්ලන්ට ඕන දෙයක් කරනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පිළිගන්න ආර්ථික ප‍්‍රතිපත්තිය විග‍්‍රහ වෙන්නෙ කොහොමද?

මම කොහොමත් විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියට එකගයි. නමුත් අපේ ස්වදේශීය සම්පත් උකස් තියල විකුණන්නෙ නැති ක‍්‍රමවේදයක් ඇතුළත එය කි‍්‍රයාත්මක වෙන්න ඕනෙ. අල, බතල කාල හරි, පොල් මුඞ්ඩෙන් හදන දේ පාවිච්චි කරල හරි දියුණු වෙන්න බැහැ. විශේෂයෙන් දුප්පත් රටක් වුණාම විදේශික ආයෝජන එන්නම ඕන. ලෝකයත් එක්ක එකට වැඩ කරන්න වෙනවා. සීමිත රාමුවක් ඇතුළේ ගනුදෙනු කරල මේක කරන්න බැහැ. ඒ නිසා විවෘත ආර්ථිකයට එක`ග වෙනවා. හැබැයි අපේ සම්පත් කොල්ල කන්න තියෙන ඉඩ අහුරන්න ඕනෙ.
නමුත් මේ වෙළෙදපොළ මුල් කරගත්ත ආර්ථිකය නිසා ඇති වී තිබෙන අවමානුෂික තත්වය හේතුවෙන් ජනතාව පීඩා විදිනවා. මේක පිළිතුරක් ඔබට තියෙනවද?
එහෙම වෙලා තියෙන්නෙ ආර්ථික ක‍්‍රමය නිසා නෙවෙයි දූෂණය නිසා. ක‍්‍රමයෙ වරදක් නෙවෙයි තියෙන්නෙ.
අද දවස වෙද්දි මේ රට මුහුණ දීල තියෙන තවත් ප‍්‍රශ්නයක් තමයි උතුරේ ජනතාව මිලිටරි පාලනයකට යටත් කරල පීඩාවට පත් කර තිබීම. මෙය සාධාරණද? මොන වගේ අදහසක්ද මේ ගැන තියෙන්නෙ?

හමුදා කදවුරු තිබුණ කියල ඒක මිලිටරිකරණයක් කියල කියන්න බැහැ. සිවිල් පරිපාලනයක් තියෙනවා. වෙලා තියෙන්නෙ ජන ජීවිතයට අවහිර වෙන විදිහට හමුදාව යොදවල තියෙනවා. මේ කාලයෙ තර්ජනයක් නැහැ. ත‍්‍රස්තවාදයක් නැහැ. නමුත් අනවශ්‍ය විදිහට යොදවල තියෙනවා. ඔතන තියෙන ප‍්‍රශ්නය මිලිටරිකරණයම නෙමෙයි. එක එක දේශපාලකයෝ තම තමන්ට වාසි වෙන විදිහට එක දහය කරල පෙන්වන්න හදනවා. අනිවාර්යයෙන්ම හමුදා කදවුරු අඩුවෙන්න ඕනෙ. නමුත් ලංකාවේ හමුදාව වෙන කොහේවත් අරන් ගිහින් නතර කරන්න බැහැ. වෙලා තියෙන්නෙ හමුදා කදවුරු අඩු කරන එක හරියට කරගන්න බැරි වෙලා තියෙනවා.
නමුත් මිලිටරි බලය වැඩි කිරීමට ඔබ ජනාධිපතිවරයට යෝජනා කළ බව දැන් ආණ්ඩුවෙන්ම චෝදනාවක් තියෙනව නේද?

ඒක කළේ මම මීට අවුරුදු 4 කට ඉස්සෙල්ලා. ලක්ෂ දෙකේ හමුදාව එක්ලක්ෂ ගණනකට අඩු වෙලා තියෙන්නෙ ඇයි? රාජකාරිය දාල ගිහින් තියෙන්නෙ ඇයි? මේකට හේතුව තමයි පීඩනය වැඩියි. රාජකාරි වැඩියි. කරගන්න බැහැ. ඉතින් දාල යනවා. යුද්දෙ ඉවර වුණා කියල අනතුරු සම්පූර්ණයෙන් බැහැර වුණේ නැහැ. යුද්දෙ ඉවර වෙලත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්
12,000 ක් අත්අඩංගුවට ගන්නවා. පුනරුත්ථාපනය කළා කියනවා. අපි දන්නවද ඒක හරියට කළාද, නැද්ද කියල. ඒ වගේම තමයි බිම් බෝම්බ. මේ දොළොස් දාහෙන් දෙන්නෙක් ගිහිල්ල අර බිම් බෝම්බවලින් ගැහුවොත් ඊළගට මොකද වෙන්නෙ? ආපහු මුළු හමුදාවම උතුරු නැගෙනහිරට දාන්න වෙනවා. ඉතින් යුද්දෙ ඉවර වුණා කියල නැහැ. පසු රාජකාරිත් තියෙනවා.
අවුරුදු දෙකහමාරක් තිස්සෙ කටු පදුරු අස්සෙ, බෝක්කු කටවල් අස්සෙ නොකා නොබී යුද්දෙ කරපු කොල්ලන්ට විවේකයක් දෙන්න අවශ්‍ය නම් ඒ අඩුවට අලූතෙන් ගන්න වෙනවා. එහෙම නැතිව ඉන්න අයට විවේකයක් දෙන්න බැහැ. නමුත් ඔවුන්ට විවේකය අවශ්‍යයි. ඒ ගැන තමයි මම කිව්වේ. දැන් ඉතින් බිම් බෝම්බ ඉවත් කරගන්නත් බැරි වුණා. පුනරුත්ථාපනය කළයි කියනවා, ඒත් කවුද දන්නෙ හරියට කළාද කියල?
හැම මොහොතකම මේ පුනරුත්ථාපනය ගැන කතා කෙරෙද්දි කියවෙන්නෙ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙ සාමාජිකයන් ගැන විතරයි. හමුදාවේ සාමාජිකයන්ට මේ පුනරුත්ථාපනය අදාළ නැද්ද? මොකද මේ දෙපාර්ශ්වයම එක වගේ මිලිටරි මානසිකත්වයකින් වැඩ කළ අය?

දෙපාර්ශ්වය සමාන කරන්න බැහැ. හමුදාව කොහොමත් පුනරුත්ථාපනය කරල තමයි යවන්නෙ. කොකා මිරිකන්නෙ නැති වෙලාවට විවේකයෙන් ඉන්නත් ඒ මිනිහා දන්නවා. නමුත් ත‍්‍රස්තවාදියෙක් ඊට වෙනස්. ත‍්‍රස්තවාදියාට ඒක උගන්වල නැහැ. හමුදා සෙබළාව හැම තත්වයක් යටතේම ඉන්න පුහුණු කරනවා. හමුදාවට අවශ්‍ය වෙන්නෙ විවේකයක්. සතුරව මැරුවා, දැන් ඔක්කොම හරි කියල අකුළගෙන ගෙදර එන්න බැහැ. එතනින් ඉදිරියටත් රාජකාරි තියෙනවා. ඒ සදහා විවේකය අවශ්‍යයි. යුද පිටියේ සිටි සෙබළාට විවේක ගන්න අවශ්‍ය නිසා තමයි අලූතෙන් ගන්න වෙන්නෙ.
මෙතනදි ඔබ ත‍්‍රස්තවාදය කියල පාවිච්චි කළා. ත‍්‍රස්තවාදයක් ඉබේ බිහි වෙන්නෙ නැහැනෙ. අප රටට අදාළව ජාතික ගැටලූවක් තියෙනවා. මේ ගැටලූවට විසදුමක් විදිහට යම් යෝජනාවක් තියෙනවද?

බලය බෙදන එක හරි ඔය මොනව හරි කරන්නවත් ලියවිල්ලකට අත්සන් කරන්නවත් නෙවෙයි මුලින් කරන්න ඕනෙ. ප‍්‍රශ්නය තියෙන්නෙ ජාතීන් අතර සැකයක් තියෙනවා. විශ්වාසය නැහැ. අපි ඔක්කොම එකයි කියල හිතන්න පුරුදු වෙලා නැහැ. මුලින් කරන්න ඕන ඒක නැති කරන එක. සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වෙන්න වටපිටාවක් හදන්න අවශ්‍යයි.
සැකය, වෛරය ඉවත් කරවන්න අවශ්‍යයි. ඒක නැති කරන්න නම් එකට ජීවත් වෙන්න පුරුදු කරන්න ඕන. ඒක දවසකින් දෙකකින් කරන්න බැහැ. ඒකට අවුරුදු දහයක් පහළොවක් විතරක් නෙමෙයි සමහර විට පරම්පරාවක් විතර යයි. ඒක නොකර බලය බෙදීමක් වගේ දෙයක් කළොත් තවත් වෛරය, සැකය වැඩි වෙනවා.

( ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා සමග 'ජනරළ' පුවත්පත කල සාකච්ජාවකි )
(සංවාද සටහන -ආශිකා බ‍්‍රාහ්මණ)

0 comments:

Post a Comment