Wednesday, May 1, 2013

මේ ආණ්ඩුව ප්‍රේමදාස ආණ්ඩුවේ කාබන් කොපියක් - සජිත් ප්‍රේමදාස



මෙම ආණ්ඩුව ප්‍රේමදාස ආණ්ඩුවේ සම්පූර්ණ කාබන් කොපියක් බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 

එදා ගම් උදාව, මෙදා "දැයට කිරුළ" වී ඇති බවත්, එදා ජන සවිය, මෙදා "සමෘද්ධිය" වී ඇති බවත්, එදා මගසවිය, මෙදා "මගනැඟුම" වී ඇති බවත්, හෙතෙම කියා සිටියේ අද (01) පැවති 20 වන ප්‍රේමදාස ගුණ සමරු උළෙලට සහභාගී වෙමිනි. 

එසේ වුවද එදා "ගම් උදාව"ක් නිමාවන විට මිනිසුන්ට සැදූ නිවාස ඉතිරිවී තිබුණත් මෙදා "දැයට කිරුළ" නිමාවන විට ඇත්තේ හිස් පිට්ටනි පමණක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. 

අනුන්ට උපදෙස් දෙන්නට කලින් තමන් කුහකම් නොකළ යුතුව ඇති බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 

මේවන විට රටට මානව හිමිකම් චෝදනා එල්ලවෙමින් පවතින බවත්, අද බලයේ සිටින අය එදා සූට් කේස් පුරවාගෙන ජිනීවා ගිය බවත් ඔහු සිහිපත් කළේය. 

ප්‍රේමදාස ජනාධිපතිවරයා එදා "තරුණ අසහනය" ගැන සොයා බලන්නට කොමිසමක් පත්කොට එකී කොමිසමේ නිර්දේශ අනුව තරුණයින්ගේ ප්‍රශ්න විසඳීමට ක්‍රියා කළ බව මන්ත්‍රීවරයා කියා සිටියේය. 

එසේ වුවද වත්මන් ජනාධිපතිවරයා පත්කරන කොමිෂන් සභාවලින් කිසිදු ප්‍රයෝජනයක් අත්නොවන බවත්, උගත් පාඩම් කොමිසම අර්ථ විරහිත දෙයක් බවට පත්ව ඇති බවත් ඔහු අවධාරණය කළේය.

derana

0 comments:

Post a Comment